Blogger Widgets

Saturday, November 30, 2013

පුතේ! ඔයා කොරෙක් නොවෙයි මට තාත්තෙක්

ඇට බි‍ඳෙන රෝගයෙන් පීඩා විඳිමින් මව රැක ගන්නා පුතෙක්

මේ කතාව සුරංගනා කතාවක් නම් නොවේ. අනන්ත දුක් කන්දරාවක් විඳිමින් තම දරු දෙදෙනාගේ අවසන් සුසුම් පොදත් රැක ගැනීම සඳහා වෙහෙසෙන මවකගේත්, තම මවගේ හා වැඩිමල් සොයුරියගේත් ජීවිත රැක ගැනීමට තම හැකියාවෙන් මුදල් උපයන පූර්ණ ආබාධිත තරුණයකුගේත් කතාවකි.

මව - එම්. ඒ. අයිරාංගනී

වයස - අවුරුදු හැටපහයි.

මුලින්ම අපි ඒ අයිරාංගනී අම්මාගේ කතාවට සවන් දී බලමු.
මගේ ගම කොටුවැල්ල. මම විවාහ වුණේ අවුරුදු එකොළහේදී. දෙමවුපිය කැමැත්තෙන් හොඳට මඟුල් කාලා තමයි මම බැන්දේ.

මම බැන්දේ මගේ අවැස්ස මස්සිනාව. කසාද බැඳලා ටික කාලෙකින් මට දරුවෝ ලැබුණා. දරුවෝ ලැබිලා ටික කාලෙකට පස්සේ තමයි ලෙඩ වෙන්න ගත්තේ. ඒ වෙන කොට දරුවන්ගෙ තාත්තා වැඩ කළේ උසාවියේ. රෝහල්වලට ගෙනිහිල්ලා දරුවන්ව පෙන්නුවා. දවසක් දොස්තර මහත්තයා අපේ මහත්තයට විතරක් ඇතුළට කතා කරලා කිව්වා මේ දරුවන්ට තියෙන ලෙඩේ හොඳ කරන්න බැහැ කියලා. ඊට පස්සේ ඉඳන් මහත්තයගෙ හිත නරක් වෙලා ඔළුව හොඳ නැතිව ගියා. මං දරුවොත් එක්ක ඉස්පිරිතාලවල හිටියා. දැන් මහත්තයා මැරිලා අවුරුදු දාහතක් වෙනවා. මට ඔක්කෝම දරුවෝ එකොළහක් ලැබුණා. එයින් පස් දෙනෙක්ම අවුරුදු දහඅට, පහළොව, දාසය, දාහතර වයසෙදි මැරුණා. 

Friday, October 11, 2013

ඇත් සවිය පරදන අතහැරීමේ අවිය

[මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!]

Sunday, September 29, 2013

සෝම හිමියන් වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශයක්

මහරගම සිරි වජිරඥාන ධර්මායතනවාසී
දියතලාවේ පියදස්සි හිමි

ප්‍රකට ධර්ම දේශක දියතලාවේ පියදස්සි හිමියන් සමඟ කරන ලද සාකච්ඡාවකි මේ

අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි
* වර්තමාන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වෙලා අදට වසර අටක් ගතවෙනව. ඇත්තටම උන්වහන්සේගේ ජාතික හා ශාසනික මෙහෙය ගැන සිහිකළොත් ඔබවහන්සේට කිව හැක්කේ කුමක්ද?

සෝම හාමුදුරුවෝ කියන්නේ මහා ආලෝකයක් පතුරපු තරුවක්. උන්වහන්සේ පැවිදි උනේ අවුරුදු 25 දී. අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියනුත් අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියනුත් යටතේ පැවිදි බිමට පත්වූ ශ්‍රේෂ්ඨ යතිවරයෙක්.

උන්වහන්සේ පැවිදිවුනේ මහරගම ධර්මායතනයේදී. පැවිදි ආකල්ප අනුවම භික්ෂු ජීවිතය ගත කළ අයෙක් හැටියට සෝම හිමියන් හඳුන්වන්න පුළුවන්. බෝලවත්ත ආරණ්‍ය සේනාසනයෙන් ත්‍රිපිටක අධ්‍යාපනය ලැබුවේ. මාතලේ චේතියගිරි ආරණ්‍ය සේනාසනයෙත් මහඔය ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකත් වැඩසිටියා. 

ධර්මායතනයේ භික්ෂුන් එක්වෙලා ත්‍රිපිටක සූත්‍ර සාකච්ඡාවක් කළා. එහිදී සෝම හාමුදුරුවෝ කිව්වා මම බුද්ධගයාවේ කාලයක් භාවනා කළා. ඒ කාලයේ දී තමයි මට දහම වැටහෙන්න පටන්ගත්තේ කියලා. බුද්ධ ස්තූප පොත ලියන්න බුදු හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් ලැබුණා කිව්වා.

භික්ෂුවගේ ජීවිතයට භාවනාව අත්‍යවශ්‍යයයි. ඒක සෝම හිමියන් ප්‍රගුණ කළා. අල්පේච්ඡතාවය තිබුණා. මහඔය ආරණ්‍ය සේනාසනයේ වැඩවසන කාලයේ දී උන්වහන්සේ ළඟ තිබුණේ තුන් සිවුරයි. පාත්‍රයයි විතරයි.

Wednesday, August 7, 2013

කොළඹ මහත්තුරු නොදකින වයඹ මාරක ලෙඩේ

රජරට විශාලා මහනුවරක්‌ බවට පත් කරමින් දොරින් දොර මළ බෙර වැයෙද්දී බහුජාතික සමාගම් බූවල්ලොත් උන්ට උඩගෙඩි දෙන නිලධාරියොත් උන්ගේ මුදල් බුදින අනෙක්‌ එවුනුත් සාද සැණකෙළිවල සතුටු වූහ. කලකට පෙර විශ්විද්‍යාල ක්‍ෂෙත්‍රයේම ජාතිමාමක විද්වතුන් පිරිසක්‌ රජරටට අත් වූ මේ ආසනික්‌ ව්‍යසනය ගැන රටට හඬ නගා කීහ. එවේලේත් කෘෂි ත්‍රස්‌තයන්ගෙන් යෑපෙන තවත් පිරිසක්‌ අවලාද නැගූහ.

කෙසේ හෝ එලෙස ගංවතුරක්‌ සේ පැතිර ගිය වකුගඩු ලෙඩේ දැන් වයඹටත් පැමිණ තිබේ. කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට මේ රට ගිලගන්නට ඉඩ හැර කෘෂි බලධාරිහුද නැලවෙති. ඒ අස්‌සේ වකුගඩු මාරයා නැගී සිටියි. ඩෙංගු ගැනත් වකුගඩු රෝගීන් ගැනත් මොනතරම් තොරතුරු එළිදරව් කළද ආණ්‌ඩුවේ බීරි අලින්ට නොඇසෙයි. එහෙත් අපි මේ කතාවත් රටට කියන්නෙමු.

මේ මොහොතේ වයඹ ඡන්ද සැණකෙළියට හායි ගගා සුදානම් වෙයි. එහෙත් වයඹ ජනතාව මුහුණ දී සිටින මේ විපත ගැන ඒ මහත්වරු කී දෙනෙක්‌ දනිත්ද?

වසර විසිපහකට පෙර දැයට අහිමි වූ ජාතික වස්‌තුව "රාජා"

දියත පතල මහනුවර ඇසළ පෙරහැරෙහි මුඛ්‍යතම අංගය දළදා පෙරහැරයි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාල පෙරහැර සමග පෙරහැර පහකින් සමන්විත ඇසළ පෙරහැරෙහි සුවිශේෂී උත්තරීතර අංගය වන්නේ සධාතුක කරඬුව වැඩම කරවන හස්‌ති රාජයා ය. දළදා පෙරහැරේ ගමන් කරන සෙසු හස්‌තීන් අතර එම හස්‌ති රාජයා සැබැවින්ම අති විශිෂ්ට වාසනාවන්ත, පුණ්‍යවන්ත හස්‌තියකු වන්නේ ය. මෑත පෙරහැර ඉතිහාසය තුළ අඩ සිය වසරකට ආසන්න කාලයක්‌ සධාතුක කරඬුව වැඩම කරමින් උදාර මෙහෙවරක යෙදෙමින් සදානුස්‌මරණීය සිහිවටනයක්‌ තැබු කීර්තිමත් හස්‌තිරාජයා වූයේ ශ්‍රී දළදා මාලිගයෙහි රාජා හස්‌තියාය. කාලයාගේ ඇවෑමෙන් වයෝවෘද්ධ භාවය නිසාම බෙලහීන තත්ත්වයට පත්වූ රාජා හස්‌තියා අභාවයට පත්ව 2013 ජුලි මස 16 වන දිනට පුරා වසර විසිපහක්‌ සම්පූර්ණ විණි.

බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ ප්‍රථම ලෝකාදර්ශය කෘතගුණ දැක්‌වීමයි. පරමෝදාර ඒ ඉගැන්වීම අනුව යෙමින් "රාජා" ඇත් රජුන් පිළිබඳව සමරු සටහනක්‌ තැබීම කාලෝචිත යෑයි හැඟේ.

මඩකලපු දිස්‌ත්‍රික්‌කයේ එරාවුර් හි පදිංචි වෘත්තියෙන් අලි අල්ලන්නකු වූ එම්. උමේරු ලෙබ්බේ නමැත්තා තම කාණ්‌ඩය සඳහා වන වැදුණු 1925 වර්ෂයේ එක්‌තරා දිනෙක මන්නාරම් ප්‍රදේශයේ ඝන කැලෑවෙන් අලි පැටවකු අල්ලා ගනු ලැබිණි. මෙම අලි පැටවාත්, මඩකලපු ප්‍රදේශයෙන් අල්ලා ගනු ලැබූ අලි පැටවකුත් උමේරු ලෙබ්බේ රු. 3300.00 ක මුදලකට මහනුවර ප්‍රදේශයේ යටිනුවර, ගිරාගම මාම්පිටිය වලව්වේ පුංචි බණ්‌ඩාර හෙවත් ටිකිරි බණ්‌ඩාර මාම්පිටිය දිසාවට විකුණනු ලැබීය. 1925. 12. 11 වැනි දින 1318 අංක දරණ අවසර පත්‍රය ප්‍රදේශයේ දිසාපතිතුමාගෙන් ලබාගත් මාම්පිටිය දිසාවේ ඇත් පැටවුන් දෙදෙනා මහනුවරට රැගෙන ආවේය. ඉක්‌බිති යටිනුවර, ගිරාගම වලව්වේ ඇත්ගාලේ මෙම ඇත් පැටවුන් දෙදෙනා ජීවත් වූහ. එක්‌ ඇත් පැටවෙක්‌ 'රාජා' නමින් ද අනෙක්‌ ඇත් පැටවා 'දත් පූට්‌ටුවා' නමින් ද හඳුන්වනු ලැබූ අතර 'දත් පූට්‌ටුවා' පසු කාලයේ 'කන්දා' නමින් ද හඳුන්වන ලදී. 'රාජා' සහ 'කන්දා' මාම්පිටිය දිසාවේගේ සුරතලුන් ලෙස කල් ගෙවන්නට වූහ.

Sunday, August 4, 2013

දේවදත්ත පැවිදි කරවූයේ ඇයි?

මිලිඳු නාගසේන සදහම් සංවාද - 01
(සරල සිංහලෙන්)

බෙල්ලන්විල රාජමහා විහාරවාසී
ශාස්‌ත්‍රපති පූජ්‍ය ඌරුපැලැව්වේ හේමාරාම හිමි

මිලිඳු රජ - හිමියනි නාගසේනයන් වහන්ස, දේවදත්ත පැවිදි කරවූයේ කවුරුන් විසින්ද?

නාගසේන හිමි - මහරජතුමනි භද්දිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිමිබිල, දේවදත්ත යන ශාඛ්‍ය කුමාරවරු සය දෙනා සහ උපාලි කරණවෑමියා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පැවිදි කරවා වදාළ සේක.

මිලිඳු රජ - හිමියනි දෙව්දත් තෙරුන් සංඝභේදය සිදුකරන්නට යෙදුනා නේද?

නාගසේන හිමි - මහරජ දෙව්දත් තෙරුන්වහන්සේ සංඝභේදය සිදු කරන ලද්දේය. සංඝභේදය වනාහි මහරජතුමනි ගිහියන්ට කළ හැක්‌කක්‌ නොවේ. එය කළ හැක්‌කේ සමානසංවාසික, එක්‌ සීමාවක වූ ප්‍රකෘති සංඝයා අතරින් භික්‌ෂුවකට පමණි.

Saturday, July 27, 2013

8 වන වරටත් පවත් වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සෝමවතී රජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය
ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  විශ්‍රාමික කථිකාචාර්ය හා
වැඩබැලූ අංශාධිපති
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි
 
සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී දකුණු දළදා පෙරහර 8 වන වරටත් මෙම ඇසළ පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රි 8.00 ට පමණ පැවැත්වේ.

ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතුන් වහන්සේත්, දේවාභරණත් සමඟ සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍යරාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට ‘යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය’ යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ ‘ගාමිණී අභය යුදජි රජ අඩියගම මණි අගිය විහරට දිනි’ (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට ‘ගාමිණි අභය යුදජි’ (යුද්ධ ජයග්‍රාහක ගාමිණි අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් සාදවා එම ඇළෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

Related Posts Plugin for WordPress, Blogger...