Blogger Widgets

Tuesday, April 30, 2013

වෙනත් සංස්‌කෘතිවල දැනුම්

යම් සංස්‌කෘතියක ජීවත් වන අයට, එක ම ආකාරයේ යෑයි කිව හැකි අවයව තිබීම හා එක ම ආකාරයේ යෑයි කිව හැකි මනස්‌ තිබීම හේතුවෙන් ඔවුන්ට එක ම ආකාරයේ යෑයි කිව හැකි ඉන්ද්‍රිය හයක්‌ ඇති බව අපට පැහැදිලි ය. එහෙත් මෙයින් කියෑවෙන්නේ යම් සංස්‌කෘතියක ජීවත් වන සියල්ලන්ට ම එක ම ආකාරයෙන් කිසිදු වෙනසක්‌ නොමැති ව ඉන්ද්‍රිය හයක්‌ ඇති බව නො වේ. විවිධ අය ගේ විවිධ අවයව වෙනස්‌ බව අපි දැක ඇත්තෙමු. එමෙන් ම ඒ ඒ අය ගේ මනස්‌ ද වෙනස්‌ ය. බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය ආදී වශයෙන් ඒ වෙනස්‌කම්වලට හේතු දැක්‌විය හැකි ය.

අපේ සාංසාරික පුරුදු හේතුවෙන් ද අපේ අවයව හා මනස්‌ එකිනෙකා ගෙන් වෙනස්‌ වෙයි. ඇතැම් වෙනස්‌කම් අපට තේරුම් ගත හැක්‌කේ කම්ම නියාමයෙන් පමණකි. එක ම වර්ගයේ නිවුන් දරුවන් අතර වුව ද ඇති වෙනස්‌කම් බටහිර ජීව විද්‍යාවෙන් තේරුම්ගත හැකි නො වේ. කෙසේ වෙතත් අප එකිනෙකා ගෙන් වෙනස්‌ වන බව පැහැදිලි ය. එහි දී තවත් හේතුවක්‌ වනුයේ අධ්‍යාපනය ය. අප සියලු දෙනා ම කිනම් විෂය හැදෑරුව ද (අද බොහෝ විට ගුවන් විදුලියේ හා රූපවාහිනියේ අසන්නට ලැබෙන යෙදුමක්‌ නම් අසවලා අධ්‍යාපනය හදාරයි යන්න ය. අධ්‍යාපනය ලැබීම මිස හැදෑරීමක්‌ නො කෙරෙයි. අපි ඒ ඒ විෂය හදාරමු. එහෙත් අධ්‍යාපනය ලබමු.) අපට ලැබෙන්නේ බටහිර අධ්‍යාපනයකි.

කොස් මාමා

අනගාරික ධර්මපාල, බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්. ආර්. සේනානායක, ඩී. බී ජයතිලක, පියදාස සිරිසේන වැනි සමකාලීන ජාතික වීරවරයන් සමග නිදහස් සටනට පුරෝගාමීව ක්‍රියා කළ ආතර් වී දියෙස් මහතා අමද්‍යප සටනේ පුරෝගාමී නායකයෙකි.එතුමා බුදු සමයට පුනර්ජීවය දුන්, හෙළ බස, හෙළ සිරිතට පණ දුන්, අප රට පරගැති බවෙන් නිදහස් කරගැනීමට ක්‍රියා කළ අසාහය නායකයෙකි.

එතුමා ආනන්ද, නාලන්ද,විශාකා, ධර්මරාජ, මහින්ද, ශ්‍රී සුමංගල, ධර්මාශෝක, අනුලා වැනි විද්‍යාල ආරම්භ කොට සිංහල බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට තම ධනයත් ශ්‍රමයත් වැය කළේය. බෞද්ධ අධ්‍යාපනය පිළිබද ඉතිහාසය තුල තනි පුද්ගලයෙකු කළ විශාලතම පරිත්‍යාගය ලෙස සඳහන් වන කොළඹ වජිර පාරේ විශාකා විද්‍යාලය එතුමන්ගේ මග පෙන්වීම යටතේ එතුමන්ගේ මෑණියන් විසින් ස්වකීය තනි වියදමින් මිලදීගෙන ගොඩ නගන ලද්දකි.

එකල කොස් ඉබේ පැලවෙන ගසක් මිස වවන ගසක් ලෙස සංකල්පයක් නොවීය.සුද්දන්ගේ වතු වගා සංකල්පය යටතේ කොස් ගස් කපා දැමිණ. නැවතත් ලෝක යුද්දයක් ඇති වුවහොත් සිදුවිය හැකි අහේනිය දුටු එතුමා කොස් පමණක් නොව වෙනත් පළතුරුද, එළවලුද රට පුරා වගා කළේය. පාරවල් දෙපස කොස් වගා කළේය, මිනිසුන්ට තැපෑලෙන් කොස් ඇට පාර්සල් ලබා දීමට කටයුතු කළේය, ආනන්ද විද්‍යාලයේ සංවර්ධන අරමුදලට විකිණූ කොඩිය සමග පවා කොස් ඇටයක් ලබා දීමට කටයුතු කළේය. 


Friday, April 26, 2013

ආනන්ද මෛත්‍රිය හිමියන් හෙළිකළ පූර්ව ජන්මයේ තොරතුරු

අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.

උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත් මද්දුමහාමි මහතාටත් බෙන්තර ආරච්චිගේ හීන් මැණිකේ උපාසිකා මාතාවටත් දාව 1896 අගෝස්තු මස 23 දින රාත්‍රී විලියම් නමින් තමා උපත ලබන්නට පෙර දෙව්ලොවින් චුත වී පැමිණි බව උන්වහන්සේ කීහ.

බළංගොඩ මහා නාහිමියෝ ස්වකීය පෙර භවය පිළිබඳ ප්‍රකාශ කළේ බළංගොඩ, උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාමයේ පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට පෙර පැවති මෙම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා පොත්හලේ අධිපති සරච්චන්ද්‍ර වන්නිආරච්චි මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාරිනී ගුණසේකර මහත්මියද සහභාගි වී ඇත.

මේ පිරිසෙන් කෙනෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් මහා නාහිමියෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කළේ මෙසේය.



Thursday, April 25, 2013

සකස්කඩ නොකී කට උඹේ කට හුබස් කට

"සකස්කඩ නොකී කට උඹේ කට හුබස් කට කියල" කතාවක් ඔයාල අහල ඇති..එත් සකස්කඩ කියන්නෙ ඇත්තටම මොකක්ද දන්නෙ කීයෙන් කී දෙනාද?.......... ඔන්න නොදන්න අයටත් දැනගන්නත් එක්ක අපි අද සකස්කඩ අපේ පොස්ට් එකකට මතෘකාව කරගත්ත..

කියවල බලනකෝ කියවන්න පුලුවන්ද කියල... බැරි උනොත් ඉතින් ඔබේ කටත් හුඹස් කටක් තමා..........

සකස්කඩ

නමඃ ශ්‍රී ගණාය

දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ
සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය
අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත්
සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය

අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි දෘෂ්‍ටිජාලාවබද්‍ධ සර්‍වසත්ත්‍වසමුද්‍ධරණානුබද්‍ධ බුද්‍ධි ඇති වැ - කායජීවිත නිරපෙක්‍ෂාභිජාත නිර්‍භාරාභ්‍යාහිත සර්‍වලොකෛක දීපායමාන දීපඞ්‍කර තථාගත ව්‍යාකරණාභිෂෙකයෙන් උදීර්‍ණක්‍ලෙශමලාපගම කොට නිර්‍මල වැ - අනෙක මුක්‍තිමුක්‍තානුයාත සම්‍යක් සම්‍බොධි සම්‍භාරහාරාලඞ්‍කාරයෙන් සමලඞකෘත වැ - ශශ්‍වදූපාස්‍යමාන පාරමිතාදූතිකානුනීයමාන ධර්‍මරාජ්‍යලක්‍ෂ්මීසඞ්‍ගමන මඞ්‍ගල්‍යයට ආරම්‍භ කොටැ - කල්ප කොටි ශතසහස්‍රාධික චතුරසංඛ්‍යකල්‍පකාලාභ්‍යාසාතිශය ස්‍වාත්‍මීකෘත සර්‍වසම්‍පදාදාන නිදාන දාන ශීල නෛෂ්‍කාම්‍ය ප්‍රඥා වීර්‍ය්‍ය ක්‍ෂාන්‍ති සත්‍යාධිෂ්‍ඨාන මෛ‍ත්‍ර්‍යුපෙක්‍ෂාලක්‍ෂණ දශවිධ පාරමිතා සාගරයෙහි පාරප්‍රාප්‍ත වැ - මාරාරාතිචක්‍රාක්‍රමණසන්නද්‍ධ බුද්‍ධාංකුර මහා යොධාද්‍ධ්‍යුෂිත තුෂිත භවනාරූඪ වැ - ශ්‍රද්‍ධානුරාගාවර්‍ජ්‍ජිතාමිතාමරවරවධු විධූයමාන මකරචාරුචාමරධවලීකෘතොදාර පාණ්‍ඩරතර කීර්ති විමානයෙහි වැඩැ වෙසෙමින් භක්‍තිප්‍රෙමාතිභාරාවන්‍ත සර්‍වසුරාසුරවර චක්‍රචාරුචූඩාමණිමරීචිසඤ්‍චය පරිචුම්‍බිත චරණනඛමයූඛ ජාලාභිෂෙකයෙන් භුවනත්‍රයයට අභිෂෙක දී - දුර්‍ගති දුර්‍ගාභිමුඛ වැ පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව සන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ - දිව්‍යබ්‍රහ්‍මයන් විසින් සමාරාධිත වැ - මහාසම්‍මත පරම්‍පරානුයාත ශුද්‍ධ සූර්‍ය්‍යවංශාභිජාත සර්‍වගුණ ගණාභරණ විභූෂිත කීර්තිමාලා පරිශුද්‍ධ ශුද්‍ධොදන මහාරාජොපනිඃශ්‍රයයෙන් අපරිමිත පුණ්‍යසම්‍භාර රූපලාවණ්‍ය ගුණොපෙත මහාමායා දේවීන් ගර්‍භචෛත්‍යාන්‍තර්‍ගර්‍භයෙහි ආත්‍මීය ප්‍රතිසන්‍ධාන ධාතුනිධාන කොටැ - ස්‍ඵටික චෛත්‍යාන්‍තර්‍ගතවිරාජමාන කනක ප්‍රතිමානුකාරයෙන් දිලිසෙමින් දශ මාසයක් මාතෘ ගර්‍භයෙහි වැසැ - වසන්‍ත මදමොදමානමුඛර මධුරතර භාරභරිතාංකුරිත කුසුමිත ඵලිතපල්‍ලවලතා විතාන විතත විචිත්‍ර විශාලසාල සලල කෙශර නක්‍තමාල තමාල නීප කදම්‍බාදී තරුෂණ්‍ඩ මණ්‍චිත ලුම්‍බිනී වනොද්‍යානයෙහි මාතෘගර්‍භයෙන් ප්‍රසූත වැ මහාබ්‍රහ්මොපනීන ස්‍වර්‍ණජාලයෙන් ලොකපාල දිව්‍යපුත්‍රොපනීත අජිනචර්‍මයෙන් මනුෂ්‍යොපනීත දුකූල චුම්‍බටකයෙන් ක්‍රමයෙන් වැඩැ - වසුධාඞ්‍ගනා මස්‍තකෛකශෙඛර භාවයට පම්‍ප්‍රාප්ත වැ - අශෙෂ දොෂාන්‍ධකාර නිකර නිරාකරණ සමුද්‍ගත තරුණ තරණී මණ්‍ඩලානුකාරයෙන් දිලිසෙමින් දශදිශා විලෝකනය කොටැ - අනන්‍තාපරිමාණ ලොකධාතු පර්‍ය්‍යාපන්‍න සමස්‍තසත්ත්‍ව නිකායයෙහි ආත්‍මසදෘශාධික පුද්‍ගලාන්‍තරයක්හු නැති සේ දැකැ - උත්‍තරදිශාභිමුඛ වැ සප්‍තපදව්‍යතිභාරාවසානයෙහි වැඩැ සිටැ - “අග්‍ගොහමස්‍මි ලොකස්‍ස, ජෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස, සෙට්‍ඨොහමස්‍මි ලොකස්‍ස අයමන්‍තිමාජාති නත්‍ථිදානි පුනබ්‍භවො” යි අභීත සිංහනාද කොටැ - සර්‍ව සුරාසුරවර මත්‍තමාතඞ්‍ගමානමදපරිශොෂණ නිපුණ සිංහනාද පරිපූරිතාශෙෂ භවනකුහර ඇති වැ ශාක්‍යාධිරාජසිංහ පොතකොත්‍තමයන් චතුරචතුරාශීතිසහස්‍රකුලප්‍රභෙදවිස්‍තීර්‍ණ බන්‍ධු වර්‍ගයා මද්‍ධ්‍යයෙහි විරාජමාන වැ ශුක්‍ලපක්‍ෂාභිවර්‍ධමාන චන්‍ද්‍රමණ්‍ඩලානුකාරයෙන් ක්‍රමාභිවෘද්‍ධ වැ ප්‍රභාස්‍වරතරවරාඞ්‍ගනා මද්‍යයෙහි විරාජමාන චන්‍ද්‍රලෙඛානුකාරී යශොධරා ප්‍රමුඛානෙක කොටි නාටක ස්‍ත්‍රීන් පරිවෘත වැ - ප්‍රතිදිනාරබ්‍ධමංගල කපිලවාස්‍තු මහානගරවරයෙහි ක්‍රිඩානුභවයෙන් ඒකොනත්‍රිංශත් සංවත්‍සරාතික්‍රාන්‍ත කොටැ ජරාජීර්‍ණ රොගාවතීර්‍ණ මරණාවතීර්‍ණ පූර්‍වනිමිත්‍ත සත්ත්‍වසන්‍දර්‍ශනයෙන් සමුද්‍විග්‍න වැ ප්‍රව්‍රජිත රූපසන්‍දර්‍ශනයෙන් නිවෘත්‍ත වැ, නෛෂ්‍ක්‍රාම්‍යාභිමුඛ මනසින් සන්‍තුෂ්‍ට වැ, ඡන්න නම් අමාත්‍ය ද්‍විතීය වැ - අනෙක කොටි සතසහශ්‍ර චක්‍රවාලාන්‍තරාල පරිස්‍ඵුරිත දිව්‍ය බ්‍රහ්‍ම ගණාකීර්‍ණ පාරිජාත ම‍න්‍දාර මකරන්‍ද බින්‍දු සින්‍ධුරිතාංගසුන්‍දරතර චතුරතර තුරංගයානයෙන් ප්‍රයාණය කොට, අනොමා තීරයට සම්‍ප්‍රාප්‍ත වැ - සර්‍වාභරණ විභූෂිත කනකවර්‍ණ දෙහශොභා ඇති බැවින් සුපුෂ්‍පිත කණිකාර තරුශිඛර සමුර්‍ධ්‍වාගත භ්‍රමරාවලී ලීලායෙන් ආත්‍මීය ඛඞ්‍ගධාරා සමුච්‍ඡින්න කෙශධාතු ආකා‍ශයෙහි විහිදැ ඝටීකාර මහාබ්‍රහ්‍මොපනීත විශිෂ්‍ටාෂ්‍ටපරිෂ්‍කාරයෙන් ප්‍රව්‍රජිත වැ ප්‍රව්‍රජ්‍යාසුඛස්‍මෘති රසාස්‍වාදයෙන් සප්‍තාහාතික්‍රාන්‍ත කොටැ රාජගෘහ නගරවරයෙහි භික්‍ෂාටනයෙන් සන්‍තර්පිත වැ ෂට්-සංවත්‍සර මාත්‍රයක් ප්‍රධාන භූමියොග කොටැ - කෂ්‍ටව්‍රත සමාදානයෙන් මොක්‍ෂයාගේ අලභ්‍යභාවය ලොකයාහට ප්‍රකාශ කොට සුජාතොපනීත ක්‍ෂීරපායාස ප්‍රතිග්‍රහණයෙන් රූපකායානුග්‍රහය කොටැ ස්‍වස්‍තිද්‍විජොපනීත කුශමුෂ්‍ටිග්‍රහණයෙන් මාරාතිසංග්‍රාම භූමිස්‍ථානීය බොධි මණ්‍ඩපයට සම්‍ප්‍රාප්‍ත වැ - පෘථිවි සමුද්‍භෙදොද්‍ගත කුසුම පර්‍ය්‍යංකවරචාර සමාරූඪ වැ චතුරංග සමන්‍විත වීර්‍ය්‍යාධිෂ්‍ඨානයෙන් පර්‍ය්‍යංක බන්‍ධනය කොටැ - තත්‍කාල සමායාත සංග්‍රාමාතිභීෂණ මත්‍ත මාතඞ්‍ග තුරඞ්‍ගාඩම්‍බර හර්‍ෂහෙෂාරව බධිරීකෘතාශෙෂ ත්‍රිභුවන භවන පුටපාටනපටු පටහ පණව දුන්‍දුභිධ්‍වනි ප්‍රලයාසනි සම්‍පාත නිර්‍ඝොෂයෙන් ඝොෂ වූ දොර්‍දණ්‍ඩමණ්‍ඩලොෂිත නිශිත කොදණ්‍ඩ දණ්‍ඩ කාණ්‍ඩ කම්‍පන භින්‍දිවාල කරවාලාර්‍ධචන්‍ද්‍රචක්‍රාදි විවිධායුධ සහස්‍ර දුර්‍වාර සපරිවාර මාරපරාජය කොටැ - ප්‍රථම යාම සමධිගත පූර්‍වෙනිවාසානුස්‍මෘති ඥානාලොක බලයෙන් අතීත කාලවර්‍ත සර්‍ව දොෂාන්‍ධකාර නිකර නිරාකරණය කොටැ - මද්‍ධ්‍යමයාම සමධිගත දිව්‍යචක්‍ෂුරබිඥානාලොක බලයෙන් චවමානොපපද්‍යාමානාද්‍යනෙක සත්ත්‍ව සමීක්‍ෂණයෙන් නාගතාමිත කාලවර්‍ත්‍යඥානතමොජාලප්‍රදාලනය කොටැ - පශ්‍චිමයාම සමධිගතසවාසනාසර්‍වක්‍ලෙශසමුච්‍ඡෙද සමස්‍තාෂ්‍ටාංගාර්‍ය්‍යමාර්‍ගඥාන ලක්‍ෂණ ආස්‍රවක්‍ෂයකරාභිඥානාලොක බලයෙන් වර්‍තමාන ඝනතරාඥානතිමිර පටල පුටපාටනය කොට මෙසේ වූ ත්‍රිවිද්‍යාඥානාලොක බලයෙන් අධ්‍වත්‍රිතය සර්‍ව දොෂාන්‍ධකාර දූරීකරණයෙන් සංස්‍කාර විකාර ලක්‍ෂණ නිර්‍වාණ ප්‍රඥපති යන පඤ්‍චවිධඥෙයමණ්‍ඩලයෙහි ඓශ්‍වර්‍ය්‍යය කෙරෙමින් අනාවරණ ඥානාභිෂෙකයෙන් සර්‍වධර්‍මාධිරාජ්‍යපදයෙහි සුප්‍රතිෂ්‍ඨිත වැ - ස්‍ථානභවයොනිගතිවිඥානස්‍ථිති සත්ත්‍වාවාස භෙද භින්න සර්‍වසත්ත්‍වවර්‍ගාශ්‍රිත ක්‍ලෙශාරිවර්‍ගසමුච්‍ඡෙද චතුර චතුරාශීති සහස්‍ර ධර්‍මස්‍කන්‍ධ මහා නගරවරයට සම්‍ප්‍රාප්‍ත වැ චතු‍ර්‍වෛශාරද්‍ය දශබල චතුර්‍දශ බුද්‍ධඥානාෂ්‍ටාදශ බුද්‍ධ ධර්‍ම ද්‍වාත්‍රිංශද්‍වර මහාපුරුෂලක්‍ෂණයෙන් හා අශීත්‍යනුබ්‍යඤ්‍ජනව්‍යාමප්‍රභාකෙතුමාලාලඞ්‍කාරයෙන් විරාජමාන වැ - තථාගතවර ධර්‍මචක්‍රවර්ත්‍ති තමා නානා දෙශයෙහි නානා කාලයෙහි නානාවිධ විනෙය සත්ත්‍වාශයානුශය චරිතාධිමුක්‍ති වශයෙන් සද්‍ධර්‍මාමෘත වර්‍ෂා කෙරෙමින් සර්‍වසම්‍පන්න ශ්‍රාවස්‍ති මහා නගරවරොපනිඃශ්‍රය කොටැ - සර්‍වධර්‍මාධිරාජධානි ස්‍ථානීය ජේතවන මහා විහාරයෙහි වැඩ වෙසෙමින්, දෙසුවා වූ සුවාසූ දහසක් ධර්‍මස්‍කන්‍ධයට අන්‍තර්‍ගගත වූ විශාලා මහනුවර ජනපද රොගභය පලවා - කෙළලක්‍ෂයක් සක්වළෙහි ආඥා පැතිරැ දිලිසෙමින් සිටි රුවන් සූත්‍රයෙහි වදාළ තාක් ආඥා ගුණ තොජොබල මෛත්‍රී පුණ්‍ය ප්‍රභායෙන් සියල් ලෝවැස්සනට ද මට ද සේනුසේ විය යුතු.

සර්‍වාන්‍තරායවර මහබිනික්මන් සකස්කඩ නිමි

සිද්‍ධිරස්‍තු.

අඬහැරය - 2013/02/05

අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

ජීවිතය යනු මුදල් නොවන බව ලොවට කියා දුන් වෛද්‍යවරයකුගේ සමුගැනීම

වෛද්‍ය යොකාෂි තමා අතට පත්ව තිබූ එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක වාර්තා කීපයක් දැඩි විමසිල්ලෙන් යුතුව පරීක්ෂා කරමින් සිටියේය. ඒවා දුටු මොහොතේ සිට යොකාෂිගේ තොලකට වියළී ගොස් ඇති බවක් ඔහුට දැනුණි. සිව්වැනි වතාවටත් ඒවා මුල සිටම පරීක්ෂා කළ යුතු යැයි සිතූ ඔහු නැවත වරක් මුල සිටම වාර්තා පරීක්ෂා කරන්නට පටන් ගත්තේය. විනාඩි 20ක් පමණ ගතවූ පසු, වාර්තා සියල්ල මේසය මතට දැමූ ඔහු තම සුවපහසු අසුනේ පිටුපසට ඇදී පුටු ඇන්දේ හිස තබා ගත්තේය.

මීට සුළු මොහොතකට පෙර තමා පරීක්ෂා කළ සියලු වාර්තා අයත් වන්නේ, ඔහුගේ හොඳම මිතුරාටය. කුඩා කල සිට පාස‍ලේ යාබද අසුනේ සිට තමන් හා එකට අකුරු කළ මිතුරාටය. පාස‍ලේදී පමණක් නොව වෛද්‍ය විද්‍යාලයේදීද ඔහුගේ හොඳම මිතුරා වූයේ එම පුද්ගලයාය. අද වනවිට මේ දෙදෙනාම වෛද්‍යවරුන්ය. මෙම එම්.ආර්.අයි වාර්තා අයත් වෛද්‍ය මිතුරා නමින් රිචර්ඩ්ය. නැතහොත් රිචර්ඩ් ටියෝ කොංසියැංය. වෛද්‍ය වාර්තාවලට අනුව රිචර්ඩ් ජීවත් වන්නේ තව මාස කීපයකි. එයට හේතුව ඉතා දරුණු ලෙස ඔහුගේ ශරීරයේ අභ්‍යන්තර අවයව විශාල ප්‍රමාණයක පැතිරී ඇති අවසන් අවස්ථාවේ පවතින පිළිකාවකි. වෛද්‍ය රිචර්ඩ් ටියෝ උපන්නේ 1972 වසරේය. ඉතාම දුක්බර ළමා කාලයක් ගෙවූ ඔහු ස්වෝත්සාහයෙන් ඉගෙන ගත්තේය. එයට හේතුවක් තිබිණි. සමාජය මෙන්ම ජනමාධ්‍යයෙන් ඇසෙන දකින දේ අනුව ටියෝ, දැන සිටියේ සාර්ථකත්වයට පැමිණිය හැකි වන්නේ ‍පෝසත් වීමෙන් පමණක් බවය. එනම් සතුට ඇත්තේ මුදල් මත බවය. ඒ අනුව ඔහු ඉතා හොඳින් පාසල් අධ්‍යාපනය නිම කළේය. පාස‍ලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව සෑම ක්‍රීඩාවකම නිරතවිය. පාස‍ලේ සෑම වර්ණ ප්‍රදානෝත්සවයකදීම ටියෝගේ නම හත්අට වතාවක් කියවුණි. වර්ණ රාත්‍රිය අවසන් වන්නේ ඔහු වටා කුසලාන පදක්කම් සහ සහතික තොගයක් ඉතිරි කරමිනි. උසස් අධ්‍යාපනය සඳහා ඔහු වෛද්‍ය විද්‍යාලයට තේරුණු අතර, ටියෝ එහිදී තෝරා ගත්තේ අක්ෂි වෛද්‍ය විද්‍යාවයි. ඊට හේතුව වූයේ අක්ෂි වෛද්‍ය විද්‍යාව යනු යහමින් මුදල් හම්බ කළ හැකි ක්ෂේත්‍රයක් වීමයි. එය සාර්ථක ලෙස පුහුණු වූ ඔහු අක්ෂි වෛද්‍ය විද්‍යා පර්යේෂණ සඳහා පේටන්ට් බලපත්‍ර 2ක්ද හිමිකර ගත්තේය. ඉන් එකක් අක්ෂි පර්යේෂණ සඳහා ‍ලේසර් කිරණ භාවිත කිරීමේ ක්‍රම සම්බන්ධව වූ අතර අනෙක අක්ෂි වෛද්‍ය උපකරණ සම්බන්ධවය. ඊට අමතරව ඔහුට ‍ලේසර් කිරණ භාවිත කර ඇස් පරීක්ෂා කිරීම සම්බන්ධ පර්යේෂණ ශිෂ්‍යත්වයක්ද පිරිනැමිණි. නමුත් ඔහු බලා‍පොරොත්තු වූ තරම් මුදලක් උපයා ගැනීමට අක්ෂි වෛද්‍ය විද්‍යාව ඔහුට ඉඩ ලබාදී නොතිබිණි. කෙටි කලකින්ම එය අත්හැර දැමූ ඔහු රූපලාවන්‍යය වෛද්‍ය ක්ෂේත්‍රය කෙරෙහි නැඹුරු වන්නට පටන් ගත්තේය. සිංගප්පූරුව යනු රූපලාවන්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන සහ වැඩි මුදලක් වියදම් කරවන රටකි. සිංගප්පූරු ජාතික ටියෝට මෙය මහත් සැනසිල්ලක් වූයේය. ඒ නිසා ඔහු ආයතනික වෛද්‍ය සේවය අතහැර රූපලාවන්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය. කෙටි කලක් ගත වනවිට වෛද්‍යවරයකු ලෙස ඔහු ලබා තිබූ ප්‍රසිද්ධිය සහ කීර්තිනාමය අභිබවා ගිය ප්‍රසිද්ධියක් සහ කීර්තිනාමයක් රූපලාවන්‍ය ශිල්පියෙකු ලෙස ලබාගැනීමට හැකිවිය. සිය රූපලාවන්‍යාගාරය තුළ වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් යෝග්‍ය ප්‍රතිකර්ම රැසක් සිදුකෙරිණි. ඒ සුරූපී රුවක් සහ සහ සෞඛ්‍යාරක්ෂිත ජීවිතයක් ලබාගැනීම සඳහාය.

රූපලාවන්‍යාගාරය ආරම්භ කර පළමු මාසය ගෙවෙන විට ටියෝ, සෑම දිනකම පැය කීපයක් තමා හමුවීම සඳහා පැමිණෙන සිය පාරිභෝගිකයන්ට වේලාව ලබාදී තිබිණි. මාස 4ක් ගතවනවිට ටියෝ හමුවීම සඳහා පාරිභෝගිකයන්ට සතියක් බලා සිටින්නට සිදුවිය. තවත් මාස කීපයක් ගතවිය. ටියෝ හමුවීම සඳහා සති 3ක සිට ලැයිස්තුවේ සිටි පාරිභෝගිකයන්, ඒ පිළිබඳව කිසිසේත්ම උරණ වූයේ නැත. අවසානයේ ඔහු හමුවීම සඳහා මාස 3ක් පමණ බලා සිටින්නට තරම් අවිවේකී කාලපරිච්ජේදයක් ටියෝට උදාවී තිබිණි. එසේම ඔහු කුඩා අවධියේ සිතූ ලෙසම සිහින මැවූ ලෙසම මුදල් ඔහු සොයා ගලා එන්නට විය. මුදල් යනු සතුට යැයිද, මුදල් යනු ජීවිතය යැයිද සිතූ ටියෝ මහත් ආඩම්බරකාර ජීවිතයක් ගත කළේය. එදිනෙදා ආහාරපාන සඳහා ලෝභී ලෙස මුදල් වියදම් කරන සිංගප්පූරු වැසියන් තම රූපලාවන්‍ය කටයුතු සඳහා දිනකට ඩොලර් 10,000ක් වියදම් කළේ කිසිදු චකිතයකින් තොරවය. විනාඩියක කාර්යයන් සඳහා ටියෝ ඩොලර් දහස් ගණන් අය කළේය. අවසානයේ මුදල්වල වටිනාකමක් හෝ අගයක් නොදකින තරමට ඔහු ධන කුවේරයකුවී සිටියේය. ඔහු මෝටර් රථ මාරු කළේ ඇසිපිය ගසන වේගයෙනි. රේසින් මෝටර් රථවල නැගී විනෝද සවාරි යෑමට සහ රේසිං තරගවලට යෑමට ඔහුට ඕනෑ තරම් වේලාව තිබිණි.

ඒ වනවිට ඔහුට අයත් රූපලාවන්‍යගාරයේ, වෛද්‍ය විශේෂඥයන් 7 දෙනකු පූර්ණකාලීන සේවයේ යොදවා තිබිණි. අත්‍යවශ්‍යම අවස්ථාවක හැර ටියෝ කිසිදු පාරිභෝගිකයකු හමුවූයේ නැත. ඒ නිසාම ඔහුට තම විනෝදකාමී දිවිය එලෙසම පවත්වාගෙන යාමට බාධක තිබුණේ නැත. ඔහු මාසයකට වරක් තම ඥාතීන් බැලීමට ගමට ගියේය. ඒ සුපිරි මිලක් ගෙවා තමන් සතු කරගත් සුපිරි මෝටර් රථයෙනි. එය ෆෙරාරි 430 වර්ගයේ රථයකි. ඥාතීන් දැකීමට වඩා ඔහුට අවශ්‍ය වූයේ තම සුපිරි දිවිය ඥාතීන්ට දැකීමට සැලැස්වීමටය. ඔහු එයින් මහත් සැනසුමක්, සතුටක් ලැබුවේය.
මෝටර් රථයට පසු ඔහු මහත් ආශාවකින් සිටියේ සුපිරි පන්තියේ මාලිගාවක් වැනි නිවසක් තැනීමටය. ඒ අනුව තරු පැළැන්තියේ ධන කුවේරයන් ජීවත්වන පරිසරයකින් ඉඩමක් මිලදී ගත් ඔහු තම සිහින මාලිගය ඉදිකරන්නට පටන් ගත්තේය.

ටියෝගේ ජීවිතය, ප්‍රියසම්භාෂණ, සමාජශාලා වැනි ධනපති පන්තියේ ක්‍රියාවන් වෙත යන්නට පටන්ගෙන තිබිණි. එවැනි උත්සවයක් නොපැවතෙන දිනයක් නොමැති තරමට ඔහු ඒවාට සහභාගි වූයේය. එවැනි සම්භාෂණවලදී දැන හඳුනාගත් ධන කුවේරයන් ඔහුගේ සමීපතමයන් බවට පත්විය. ධනවත් කාන්තාවන්, නිරූපණ ශිල්පීන්, රූපරාජිනියන්, බහුජාතික සමාගම් අයිතිකරුවන් ආදිය ඔහුගේ අතිජාත මිතුරන් බවට පත්ව සිටියේය. ඒ වනවිට ටියෝගේ ජීවිතය තුළ ඉඩකඩ තිබුණේ එවැනි ධනපති පන්තියේ වැසියන්ට පමණි. ඔහු ජීවිත කාලය තුළ ලබාගත යුතු යැයි බලා‍පොරොත්තු වූ සියලුම දෑ ඔහුගේ දෑස් ඉදිරිපිටම මැවී තිබිණි. ඔහු වෘත්තීය මට්ටමින් මෙන්ම පෞද්ගලික ජීවිතය අතින්ද මහත් විපර්යාසයකට ලක්ව සිටියේය.

මේ ආකාරයට ගෙවුණු විනෝදකාමී ජීවිතයට කනකොකා හඬවමින් දිනක් ඔහුගේ කොන්ද ප්‍රදේශයට මහත් වේදනාවක් ගෙන දුන්නේය. කායවර්ධන ව්‍යායාමවල යෙදීමත්, දිනපතා මහත් ශක්තියක් වැයකර ඇවිදීමත් (Jogging) මෙයට හේතු වන්නට ඇතැයි සිතූ ඔහු, තම වේදනාව එතරම් අවධානයට ගත්තේ නැත. දින කීපයක් ගත වුවද කිසිදු ආකාරයක සුවයක් නොලැබි නැත. ඔහු තම මිතුරු වෛද්‍ය යොකාෂි හමුවී කොඳුනාරටියේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගන්නට තීරණය කළේය. ඒ අනුව 2011 වසරේ මාර්තු මස දිනක ඔහු මිතුරා හමුවී එම පර්යේෂණයට මුහුණ දෙන ලදී. පර්යේෂණ ප්‍රතිඵල අනුව ඔහුගේ කොඳුඇට පෙළෙහි ඇටමිදුළුවල යම්කිසි වෙනසක් ඇති බව මිතුරාගෙන් දැනගන්නට ලැබුණි. ඒ අනුව මෙම වෙනස පැහැදිලි කරගනු සඳහා ටියෝට තවත් පර්යේෂණ කීපයකට මුහුණ දීමට සිදුවිය.

එම පර්යේෂණ ප්‍රතිඵල වාර්තා හොඳින් අධ්‍යයනය කළ වෛද්‍ය යොකාෂි මහත් විමතියට පත්වූයේ තම මිතුරා සුව කළ නොහැකි මට්ටමේ පිළිකාවකින් පෙළෙන බව දැනගත් නිසාය. වාර්තාවලට අනුව ටියෝ සිව්වැනි මට්ටමේ පෙනහලු පිළිකාවකින් පෙළෙති. (4th Stage lang cancer) ඊට අමතරව එම පිළිකා සෛල, මොළය, කශේරුකාව, අක්මාව මෙන්ම හෝමෝන ස්‍රාවී ඇඩ්්‍රනලින් ග්‍රන්ථි වෙතද පැතිරී තිබිණි. මෙවැනි ආකාරයේ පිළිකාවක් සහිතව මෙතරම් නිරෝගී ලෙස ජීවත්වන්නේ කෙසේද යන්න පවා වෛද්‍ය යොකාෂිට හිතාගන්නට හැකියාව තිබුණේ නැත. තම ජීවිතය තුළ තමා මුහුණ දුන් අන්ත දුක්ඃඛිතම අවස්ථාවට මුහුණ දෙමින් යොකාෂි, තම මිතුරාට ඔහුගේ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරන ලදී. ඒවා හොඳින් පරීක්ෂා කළ ටියෝ මුලින් මෙය විහිළුවක් ලෙස සලකා සිනාසීමට පටන්ගත් අතර පසුව මොහොතකින් යොකාෂිව දැඩිව ග්‍රහණය කරගෙන හඬන්නට පටන් ගත්තේය. ස්වල්ප වේලාවක්, ඇති තරම් හැඬූ ඔහු සිය කඳුළු පිසදා ගත්තේ ජීවිතයේ අරුත වටහා ගනිමිනි.

එතැන් පටන් ඔහු ජීවත්වූයේ දෙපා ‍පොළොවේ තබාගෙනය. තම ජීවිතය මාස කීපයකට සීමා වන බව දත් ඔහු සිය සුපිරි ජීවිතයෙන් මිදී සාමාන්‍ය මිනිසුන් අතරට ගියේය. තමාගෙන් සේවය අවශ්‍ය අය වෙනුවෙන් ඔහු සේවය කළේ කිසිදු අය කිරීමකින් තොරවය. ඒ සඳහා දෙවරක් සිතුවේ නැත. තමා සතු වටිනා කියන සියල්ල මුදල් බවට පත් කළ ඔහු දුප්පතුන් සහ කුඩා ළමුන් වෙනුවෙන් එම මුදල් වියදම් කළේය. ඔහු වයස අවුරුදු 20දී කතෝලික භක්තිකයෙකු බවට පත්ව සිටියේය. ඒ තම සුපිරි ධන කුවේර මිතුරන් සියල්ලෝම කතෝලික භක්තිකයන්වූ හෙයිනි. නමුත් ඔහු තම ජීවිතයේ අවසාන කාලය තුළ සියලුම ආගම් අදහන්නට පටන් ගත්තේය. සියලුම ආගමිකයන් සමග සතුටින් කාලය ගත කරන්නට විය. කෙසේ වුවද ඔහුට තම රෝගය නිසා දුක්විඳින්නට අවශ්‍ය වූයේ නැත. අවසන් මොහොත දක්වා සතුටින් හිනැහෙමින් සිටි ඔහු 2012 ඔක්තෝබර් මස 18 වන දින සියලු සැපසම්පත් මිල මුදල්වලින් මෙන්ම තම ජීවිතයෙන්ද සදහටම සමුගත්තේය. පසුගිය වසරේ ජනවාරියේ ඔහු වෛද්‍ය සිසුන් අමතා සිදුකළ දේශනයකදී මෙසේ පවසා තිබිණි.

“මට හැම දෙයක්ම අයිතියි. ඒත් මට මගේ ජීවිතය අයිති නැහැ. මට මගේ කෝටි ගණනක් වටිනා ෆෙරාරි රථය වැළඳගෙන සතුටු වෙන්න තරම් හැකියාවක් නැහැ. ඊට වඩා වටින මගේ ජීවිතයත් දැන් මම අතහැර දමන්න සූදානම්.”

දුලංජලී මුතුවාඩිගේ

උපුටා ගැනීම - http://www.pinsiri.com/?p=3260

අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

Wednesday, April 24, 2013

දළදා මාලිගය සුවපත් කළ විශ්මිත මෙහෙයුමේ සැඟවුණු කතාව


කාලය අපූරු අරුම මවයි. ගෙවීගිය අතීතය අප දවා දැමුවේනම් මේ මොහොත වන විට ජාතියේ භෂ්මාවශේෂවත් ඉතිරිවන්නේ නැත. වීරයන් කාලකණ්‌නි ද්‍රෝහීන් වීම මෙන්ම මහා ම්ලේච්ඡත්වය වපුල කාලකණ්‌නින් ආදරණීය මිත්‍රයන් වීමේ අසිරිය නිර්මාණය වන්නේ කාලය හරහාය.

මීට අවුරුදු දාහතරකට පෙර බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාව බෝම්බ ප්‍රහාරකින් කුඩු වී ගියේය. වර්ෂ 1998 ජනවාරි මස 25 වෙනිදා උදෑසන 6.30 ට පමණ එල්ලවූ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අවුරුදු දෙකක නොදරුවෙක්‌ ඇතුළු 11 දෙනෙක්‌ එතැනම මියගියහ. 28 දෙනෙක්‌ තුවාල වූහ.

ඒ කාලයේ මරණය සුලභය. සමාජය තුළ මහා කම්පනයක්‌ ඇතිකිරීමට එබඳු මරණ ඒ වකවානුවේදී ප්‍රමාණවත් වූයේ නැත. එල්.ටී.ටී.ඊ ය විසින් ඒ වනවිට මේ රටේ සිවිල් ජන ජීවිතයට ගිනි තබා තිබිණි. මහබැංකුව දැවී හළුවී ගියේය. පිටකොටුව මධ්‍යම බස්‌නැවතුම්පළ පිපිරී ගොස්‌ සිය ගණනක්‌ මිය ගියහ. ජය ශ්‍රී මහා බෝධිය ළඟ සිය ගණනක්‌ උවසු උවැසියෝ අමු අමුවේ මරා දැමිණි. දිනපතා නිවසින් පිටවයන්නන් යළි නිවසට එනතුරු ජීවිතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක්‌ තිබුණේ නැත. එහෙත් ඛේදවාචකයක්‌ව තිබූ සමාජයක්‌ තමන් ඉතිහාසයේ මුහුණදුන් කිසිදු ඛේදවාචකයකදී කම්පා නොවූ තරම් ප්‍රභල ලෙස ශ්‍රී දළදා මන්දිරයට බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග කම්පනයට පත්වුණේය. අපේ මිනිස්‌සුන් මොනතරම් මේ සංස්‌කෘතික ඇගයීම් තුළ ආධ්‍යාත්මිකව කිඳී ගොස්‌ ඇත්දැයි යන්න පිළිබඳ වූ විශිෂ්ටම සන්නිදර්ශනය මේ ව්‍යසනයත් සමග ලෝකයට ප්‍රකටවිණි.

සිංහල සංස්‌කෘතියේ පාරිශුද්ධ සංකේතය වූයේ දළදා වහන්සේය. උන්වහන්සේ මේ රටේ බෞද්ධයන්ට ජීවමාන බුදුහුම වූහ. ත්‍රි සිංහලය අයත් භූමිය උන්වහන්සේගේ බලමහිමයට යටත්ව පැවතිණි. සිංහලයේ රජුන් තැනුණේ ශ්‍රී දළදා වහන්සේ සෙවනෙහිය. අඩුම තරමින් අවුරුදු එක්‌දහස්‌ අටසීයක්‌ තිස්‌සේ උන්වහන්සේ අනන්ත බැතිමතුන්ගේ අප්‍රමාණ වන්දනාවට පාත්‍ර වූහ. මේ ප්‍රහාරය එල්ලවී තිබුණේ අපේ මිනිස්‌සුන්ගේ ආධ්‍යාත්මයටය. එපමණක්‌ නොව, ජාතික අභිමානයටය.

තවත් සිදුවීම් දාමයක්‌ මේ වේදනාව තීව්‍ර කිරීමට හේතු වී තිබිණි. රට ලෑස්‌තිවෙමින් සිටියේ පනස්‌ වැනි නිදහස්‌ දිනය සැමරීමටය. එම නිදහස්‌ උළෙල සැමරීමට සූදානම් වෙමින් සිටියේ නුවරය. මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු ඇතුළු සම්භාවනීය අමුත්තන් ගණනාවක්‌ මේ උළෙල සඳහා සහභාගි වීමට රටට පැමිණීමට නියමිතව සිටියේය. එල්.ටී.ටී.ඊ ය මේ සියලු කාරණා ප්‍රධානකොට දළදා මැඳුර පිපිරවීමට සැලසුම් කර තිබුණි. ජාතියේ ආත්ම ගෞරවය පිළිබඳ මෙම මාරක නිලයට අවසානයේ ඔවුහු නින්දිත ප්‍රහාරයක්‌ එල්ලකළහ.

මේ කම්පනය රටම මළගෙයක්‌ කර තිබිණි. සිදුවූ හානියේ ප්‍රමාණය ඒ ලෙසින්ම සමාජයට හෙළි නොකිරීමේ වාරණයක්‌ වගකීමක්‌ සහිත සෑම මාධ්‍යයක්‌ විසින්ම අනුගමනය කරනු ලැබීය. බෝම්බය පිපිරුණදාට පසුදා වනවිටම දළදා මැඳුර යළිත් පෙර පැවති ආකාරයටම ප්‍රතිනිර්මාණය කළ යුතුය යන මතය මහා ප්‍රවාහයක්‌ සේ සමාජයෙන්ම මතුවෙමින් පැමිණියේය. රටේ සෑම මාධ්‍යයක්‌ විසින්ම මේ කථිකාව පුළුල් ලෙස ගොඩනංවනු ලැබිණි. මේ සංවාදය නිසාම ඒ වනවිට රටේ පැවති සියලු වැදගත් ප්‍රවේශයන් අතර අතිශයින්ම වැදගත් වූ අංගය ලෙස දළදා මැඳුර සංරක්‌ෂණය කිරීමේ කටයුත්ත මතුවී ආවේය.

රජය දළදා මන්දිරය සංරක්‌ෂණය කිරීම සඳහා වහාම ජනාධිපති කාර්යසාධක බළකායක්‌ නිර්මාණය කළේය. එය මහානායක හිමිවරුන්ගෙන්, දියවඩන නිලමේ ඇතුළු දළදා මන්දිරයේ ගිහි භාරකත්වයෙන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන් ඇතුළු විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත වූයේය. එහි සභාපතිකමත් පහසුකම් සැපයීමේ හා අධීක්‌ෂණ වගකීමත් පුද්ගලිකවම එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් පවරාගනු ලැබිණි.

ඒ සමගම දළදා මැඳුර ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා අරමුදලක්‌ පිහිටුවනු ලැබීය. මෙම අරමුදල පිළිබඳ රජය කළ ප්‍රකාශය මේ සිදුවීම අපේ රටේ මිනිස්‌සුන්ගේ ආධ්‍යාත්මය කෙතෙක්‌ දුරට පාරා තිබුණේද යන්න පිළිබඳ වූ දර්ශකයක්‌ විණි. දැන්වීම රජය විසින් කරනු ලැබ දෙදිනක්‌ තුළ ඒ සඳහා මිනිස්‌සුන් ලබාදුන් ආධාර වල වටිනාකම රුපියල් මිලියන දෙකක්‌ ඉක්‌මවිණි. අවසානයෙදී දළදා මන්දිරය යළි ගොඩනැංවීම සඳහා අපේ මිනිසුන් ලබාදුන් ආධාරවල වටිනාකම රුපියල් මිලියන සියය ඉක්‌මවා තිබිණි. එය එකල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විද්වත් නිලධාරීන් විසින් සැකසූ ඇස්‌තමේන්තුවට වඩා තුන්ගුණයකටත් වැඩි මුදලක්‌ විය. සියලුම ප්‍රධාන දේශපාලන ප්‍රවාහ මේ ව්‍යසනය හමුවේ එකතු වූහ. වෘත්තිකයන් හා විද්වතුන් ස්‌වකීය දැනුම හා අත්දැකීම් බෙදාගැනීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී තිබූ වගකීමේ බර සුළුපටු නොවිණි. ජනාධිපතිනියගේ සෘජු අධීක්‌ෂණය යටතේ රටේ මිනිසුන්ගේ උත්තුංග ප්‍රාර්ථනාවත් මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ අභිමතාර්ථයත් සාධනය කරදීමේ පුළුල් කාර්යය ඔවුන් විසින් කළ යුතු වූයේය. ඓතිහාසික ආගමික ගොඩනැඟිලි සංරක්‌ෂණය කිරීමේ දීර්ඝ කාලීන පළපුරුද්දක්‌ හා ඒ සඳහා ලබාගත් විද්‍යානුකූල දැනුමත් සහිත වෘත්තිකයන් පිරිසක්‌ සිටියද ඔවුන් හමුවේ පැවතියේ වෙනස්‌ම ආකාරයේ අභියෝගයකි. මෙම සංරක්‌ෂණ කටයුත්ත ඔවුන් පුරාවිද්‍යාව ලෙස බටහිරින් ලබාගත් මූලධර්ම සහිත න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඒ ආකාරයෙන්ම ආදේශ කර නිමා කළහැකි හුදු ඉදිකිරීමක්‌ පමණක්‌ම නොවීය. ඔවුන් හමුවේ පැවතියේ අවුරුදු දෙදහස්‌ ගණනක්‌ තිස්‌සේ ජාතියක්‌ හමුවේ ජීවමාන උත්තුංග උරුමයක්‌ විනා පෞරාණික සොහොන් කොතක්‌ නොවේ. එය සංරක්‌ෂණය කළයුතු වූයේ ඒ ජීවමාන වූ විශිෂ්ට සංස්‌කෘතිය තුළය.

මේ යථාර්ථය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටද වැටහෙන්නට වූයේ මේ සංරක්‌ෂණ කටයුතු ආරම්භ වීමත් සමගිනි. එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ ලොව ප්‍රකට විද්වතෙක්‌ වූ ආචාර්ය ශිරාන් දැරණියගලය. වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ අංශයේ අධ්‍යක්‌ෂක ධුරය දරනු ලැබුවේ ක්‌ෂේත්‍රයේ ප්‍රාමාණිකයෙක්‌ සේ ලෝක සම්භාවනාවට ලක්‌වූ, ඉතාලියේ පිහිටා ඇති යුනෙස්‌කෝව යටතේ පවතිනා සංස්‌කෘතික දේපළ ආරක්‌ෂා කිරීම හා සංරක්‌ෂණ අධ්‍යයනය පිළිබඳ අන්තර්ජාතික ආයතනයේ  ව්‍යාපෘති කළමනාකාරවරයෙක්‌ මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයෙක්‌ ලෙස මේ වන විට කටයුතු කරන ආචාර්ය ගාමිණි විඡේසූරිය විසිනි. උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර මට්‌ටමේ අත්දැකීම් සහිත ලෝකයේ සිටි විද්වතුන් අතළොස්‌ස අතරේ ඒ වන විට ගාමිණි විඡේසූරියද සිටියේය. දළදා මාලිගාව සංරක්‌ෂණය කිරීම සම්බන්ධයෙන් ජාතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අභියස තැබූ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඔහු වෙත පැවරිණි.

එහෙත් නිර්මාණය කළ කාර්යසාධක බළකායේ දී තීරණාත්මක සංරක්‌ෂණ තීන්දු ගැනීමේ බලය විද්වත් වෘත්තිකයන් වෙතින් ගිලිහී තිබුණේය. එබැවින්ම නිරන්තර වාද විවාද ඇතිවූයේය. අවසානයේදී මේ තත්ත්වය මාධ්‍ය හරහා වාර්තා විණි. ඒ අවස්‌ථාවේදී ජනාධිපතිනිය සෘජු උපදෙසක්‌ ලබා දෙමින් සංරක්‌ෂණ කටයුතු වෘත්තිකයන් අතින් සිදුවුවද සෑම වැදගත් සංරක්‌ෂණ තීන්දුවක්‌ම මහානායක හිමිවරුන් විසින් අනුමත කළ යුතු බව කියා සිටියාය. මේ පසුබිම කිසිවිටකත් මීට ඉහත කළ පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතුවලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්දැක තිබුණේ නැත.

ඒ වන විට රටට ප්‍රකාශ නොකළද දළදා මාලිගාවේ දාහත හා විසිවැනි සියවස්‌ දක්‌වා සිදුවූ විශිෂ්ට වාස්‌තු විද්‍යාත්මක ඉදිකිරීම් බොහෝමයක්‌ විනාශවී තිබුණේය. සමහර සෙල් කැටයම්ගල් පුවරු පමණක්‌ ශේෂවන සේ කැඩී බිඳී ගොස්‌ තිබිණි. සිතුවම් සහිත මැටි බදාම තට්‌ටු බිඳී ගොස්‌ය. බටහිර පුරාවිද්‍යාත්මක න්‍යායන්ට අනුව විනාශ වී ගිය අංග ඉවත් කිරීම මෙන්ම කෞතුක ඉදිකිරීම් වලට අවම මැදිහත් වීමක්‌ සහිතව සංරක්‌ෂණය කිරීම පිළිබඳ වෘත්තිකයෝ කතා කරමින් සිටියහ. එහෙත් සමාජ අපේක්‌ෂාව මීට වඩා හාත්පසින් වෙනස්‌ වූයේය. දැනුම පිළිබඳ විශ්වාසයක්‌ සහිතව මේ කටයුත්තට පිවිසුනද සම්මත බටහිර පුරාවිද්‍යා න්‍යායන් අනුදකිමින් මේ සංරක්‌ෂණ කටයුත්ත කිරීමට නොහැකි වන ආකාරය ලබනා සෑම අත්දැකීමකින්ම ප්‍රධාන සංරක්‌ෂකයන්ට පසක්‌ විණි.

මුළු සංරක්‌ෂණ ක්‍රියාවලියම අලුත් අත්දැකීම් වලින් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න පත්‍රයක්‌ වූයේය. සමාජය ප්‍රාර්ථනා කළේ මේ සජීවී පුදබිම පෙර පැවැති ආකාරයෙන්ම යළි පහළ කර ගැනීමය. ඒ සමගම මෙතෙක්‌ පැවැති අපහසුතා මගහරවා ගැනීමට ද යෝජනා ඉදිරිපත් වූයේය. ඉහළ රක්‌ෂිතයේ ජීවත්වන වඳුරන්ගෙන් නිරන්තර හානි වන මැටි උළු වෙනුවට නඩත්තුව පහසු ඒ හැඩයේම තඹ ලෝහයෙන් කළ වහළක්‌ දළදා මැඳුරේ පරිපාලන අධිකාරිය විසින් පොදු සමාජීය ඉල්ලීමක්‌ ලෙස ඉදිරිපත් කළේය. මේ සමග සජීවී පුදබිමක්‌ යළි සංරක්‌ෂණ කිරීමේදී ඒ හා මතුවිය යුතු සංස්‌කෘතික හා පාරම්පරික ඥානය පිළිබඳ අලුත් පාඩමක්‌ අපේ මහානායක හිමිවරු ඇතුළු ආගමික නායකත්වය විසින් ශාස්‌ත්‍රීය ලෝකයට කියාදෙමින් සිටියහ. ඒ න්‍යායෙහි විශිෂ්ටත්වය ප්‍රකට වූ උදාහරණ කීපයක්‌ම මෙහිදී එළිදැක්‌කේය.

දළදා මාලිගාවේ සඳකඩ පහණ ඇතුළු නුවර යුගයේ විශිෂ්ට සෙල්මුවා කැටයම් රාශියක්‌ මුළුමනින්ම විනාශවී තිබුණේය. මෙම සෙල්මුවා කැටයම් නිර්මාණය කළ තාක්‌ෂණයත් එම ඥානයත්, ඒ පාරම්පරික කැටයම් ශිල්පීන්ගේ පරම්පරාත් ඒ වන විට බොහෝදුරට රටින් අතුරුදන්ව තිබිණි. මේ දැනුමේ හිඟය පියවා ගැනීමට ඒ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්දියානු මූර්ති ශිල්පීන්ගේ සහයෝගය ලබාගැනීම සඳහා මූලික කටයුතු සම්පාදනය කරමින් සිටියේය. මේ යෝජනාව ඉදිරිපත් කළ විට මහානායක හිමිවරු එය මුළුමනින්ම බැහැර කළහ. උන්වහන්සේලාගේ අපේක්‌ෂාව වූයේ අපේ පාරම්පරික ඥානය යළි මතුකරගෙන හෝ අපේ මිනිස්‌සුන් අතින් මේ කටයුත්ත සිද්ධ වනු දැකීමය. රට වටා සොයා ගියත් කටයුත්තට සරිලන ශිල්පීන් පිළිබඳ හෝඩුවාවක්‌ හෝ නොවීය. අනතුරුව අවශ්‍යතාව පවසා පුවත්පත් දැන්වීමක්‌ පළකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කළේය. අප්‍රමාණ වෙහෙසකින් පසු මෙබඳු කටයුත්තකට යොමුකරගතහැකි දැනුමක්‌ හා හැකියාවක්‌ සහිත කැටයම් ශිල්ප පරම්පරා තුනක්‌ සොයාගත හැකිවූයේය. දළදා මාලිගාවේ අද අප දකිනා සඳකඩපහණ, ඇත් කැටයම ඇතුළු සෙල්මුවා කැටයම් පෙර පරිදිම නිම වූයේ මේ මිනිස්‌සුන් අතිනි.

තවත් මෙබඳුම යෝජනාවක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ඉදිරිපත් විණි. එනම් සංරක්‌ෂණ කටයුත්තේදී අතිශයින්ම වැදගත් වන ප්‍රමිතියක්‌ සහිත දැව සපයා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳවය. මෙබඳු දැව බුරුමය හෝ එවැනි රටකින් ඉතා පහසුවෙන් ආනයනය කළ හැකි වූයේය. මේ ගැන කතා කරන මොහොතේ මහානායක හිමිවරුන්ගේ මුහුණු පවා මැලවී යනු පෙනිණි. අපේ රටේ අපේ දැව හැර වෙනත් කිසිම විදේශයක ලී කැබැල්ලක්‌ හෝ මෙම ඉදිකිරීම් සඳහා යොදා ගැනීමට උන්වහන්සේලා අනුමැතිය නුදුන්හ.

අනෙක්‌ වැදගත්ම කාරණාව මතු වූයේ සමහර නවකම්වල රන් ආලේප කිරීම සඳහා යෝජනා වූ නවීන තාක්‌ෂණික උපක්‍රම පිළිබඳ කටයුත්තේදීය. මෙහිදී අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක හාමුදුරුවන් වහන්සේ මෙතෙක්‌ මේ රටින් මැකී ගියා යෑයි සිතා සිටි පාරම්පරික රන් ආලේපන ක්‍රමවේදය පිළිබඳව ලියෑවුණු ලේඛනයක්‌ ඉදිරිපත් කර මේ රන් ආලේපනය ඒ පාරම්පරික තාක්‌ෂණය හරහා කිරීමට උපදෙස්‌ දුන්නාහ. වැළලී ගිය ශිල්ප ක්‍රම හා තාක්‌ෂණ මතුවෙමින් පැමිණියේ විශ්මය දනවන සුළු අයුරිණි.

දැන් මේ මහා දැනුම ක්‍රියාවට නංවා ඒ හා එක්‌ වූ ජනතා අපේක්‌ෂාවන් සඵල කරදීම සංරක්‌ෂකයන් අභිමුව වූ අභියෝගය විය. දත්ත සහිත වාර්තා සැකසීම, තත්ත්ව විශ්ලේෂණය, පවතින දත්ත තර්කානුකූලව විග්‍රහ කර ගැනීම, සැලසුම් සකස්‌ කිරීම මෙන්ම වඩාත්ම අසීරු කාර්යය වූ එම සැලසුම් මහානායක හිමිවරුන් ඇතුළු ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කර අනුමත කරගැනීම ඔවුන් විසින් කළ යුතු වූයේය. විනාශ වූ කොටස්‌ වලට නවකම් කළයුතු විණි. විනාශ වූ සියලුම කැටයම් හා මූර්ති අලුතින් නිර්මාණය විය. සිතුවම් යළි ඇඳීමට උපදෙස්‌ ලැබුණද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කරුණු පැහැදිලි කිරීම මත බිඳී ගිය සිතුවම් තලයෙන් සූක්‌ෂම ලෙස සිතුවම් සහිත බදාම පතුරු තෝරාගෙන අලවා පැරණි සිතුවම් කොටස්‌ සංරක්‌ෂණය කිරීමට අනුමැතිය ලැබිණි.

මෙතෙක්‌ මෙබඳු කටයුතු වලදී තීරණ ගලා ගියේ උඩ සිට පහළටය. එහෙත් නව ප්‍රවේශයක්‌ නිර්මාණය කරමින් තීරණ පහළ සිට ඉහළට සම්ප්‍රේක්‌ෂණය වෙමින් තිබිණි. මේ යථාර්ථය මෙතෙක්‌ බටහිරින් කරපින්නාගෙන පැමිණි සංරක්‌ෂණ න්‍යායයන් මුළුමනින්ම නව අර්ථකථනයකට ලක්‌කළේය. මේ සංරක්‌ෂණ න්‍යාය ශාස්‌ත්‍රීය ලෝකයට නව ඥානයක්‌ ලබා දී තිබිණි. තවමත් ජීවමාන වූ විශිෂ්ට සංස්‌කෘතික උරුමයක්‌ එහි අද්විතීය සංස්‌කෘතික අනන්‍යතාව රක්‌ෂාකරගෙන පවත්වා ගැනීම සඳහා සංරක්‌ෂණ කළයුතු ආකාරය පිළිබඳ නව කියෑවීමක්‌ සහ චින්තන මානයක්‌ ලෝකයට එළිදැක තිබිණි.

අවසානයේ බෝම්බය පිපිරී යැමට මොහොතකට පෙර තිබූ දළදා මාලිගාව ජාතියට ලැබුණේය. සජීවී සංස්‌කෘතික උරුමයක්‌ බෝම්බ ගසා විනාශ කළ නොහැකිය යන පණිවුඩය සමගින් ඒ සංරක්‌ෂණ ක්‍රියාවලිය ලෝක ආදර්ශයක්‌ සේ සම්භාවනාවට පාත්‍ර වූයේය. අතුරුදන්ව තිබුණා යෑයි විශ්වාස කළ පාරම්පරික ඥාන ප්‍රභාවන් මතුවී දිදුලන්නට වූයේය.

එහෙත් අප මතුකරගත් සම්පත් කළමනාකරණය කර පවත්වා ගැනීමට නොහැකි තරම් අප දුප්පත් විය. ලංකාවේ හතර දිග්භාගයේ සොයාගොස්‌ මතුකරගත් ශිල්ප පරම්පරා යළිත් මේ සමාජය තුළම අතුරුදන්ව නොපෙනී ගියේය. රන් ආලේප කිරීම පිළිබඳ තාක්‌ෂණය යළිත් එම ලේඛනය තුළම සැඟවුණේය. අනතුරුව මේ මහා ශාස්‌ත්‍රීය ව්‍යායාමය හසුරුවනු ලැබූ ආචාර්ය ගාමිණි විඡේසූරියට මේ කටයුත්තෙන් අනතුරුව ගලා ආ ප්‍රශංසා ඇතුළු ඇගැයීම් නිසා අවසානයේ රැකියාවවත් කරගතහැකි නොවීමෙන් මේ රට හැරයන්නට සිදුවූයේය.

ජානක ලියනආරච්චි

දිවයින - 2012/04/01

අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

Tuesday, April 23, 2013

හිපොක්‍රටීස්‌ සහ ග්‍රීක දෙවියෝ

පසුගිය දිනක ලොව පිළිගත් ඉහළ ම පෙළේ ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයකු මුණ ගැසීමේ අවස්‌ථාව මට හිමි විය. එහි දී විවිධ මාතෘකා සම්බන්ධයෙන් අප අදහස්‌ හුවමාරු කර ගත් අතර රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව ද සාකච්ඡා විය. එහි දී මා පැවසුයේ රෝගයට හේතු කාරකය අප දන්නා බවත් එය අප දැන ගත්තේ බෞද්ධ දෙවි කෙනකු හරහා බවත් ය. තව ද ආසනික්‌ පිළිබඳ හෙළිදරව්ව කළ පසු මෙරටේ විද්‍යාඥයන් යෑයි කියාගත් අය අපට පහර පිට පහර ගැසු අයුරු ද මම ඔහුට පැවසුවෙමි.

අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ (සහ කිවුල් ජලය) බව පවසන විට (2010 ජනවාරි) ආසනික්‌ නිසා නිදන්ගත වකුගඩු රෝග මිනිසුන්ට ඇති වන බවට දැනුමක්‌ බටහිර වෙදකමේ නො වී ය. අපට පහර ගැසූ බොහෝ දෙනා කළේ ආසනික්‌ නිසා වකුගඩු රෝග වැළඳෙනවා ද යන්න අන්තර්ජලයේ සොයාබලා එවැන්නක්‌ නොමැති නිසා අප බොරුවක්‌ කරන බව පැවසීමයි. එහෙත් දැන් අප ගේ හෙළි කිරීමෙන් වසර 2කට පමණ පසුව මේ ගැන සොයා බැලීම් කළ ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක්‌ පවසන්නේ ආසනික්‌ නිසා නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන බවට සාධක ලැබෙමින් පවතින බවයි. ඒ ගැන විස්‌තරයක්‌ වකුගඩු රෝග පිළිබඳ ඇමෙරිකානු ජර්නලයේ 2013 ජනවාරි කලාපයේ පළ වී ඇත.

මා කලින් සඳහන් කළ යුදෙව් ජාතික ඊශ්‍රායල් වෛද්‍ය විශේෂඥයා පැවසුයේ දෙවියන් ගෙන් දැනුම ලබා ගැනීමේ කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවත් අදටත් තම ජාතියට (යුදෙව්වන්ට) දෙවියන් හරහා පණිවිඩ ලැබෙන බවත් විද්‍යාත්මක පර්යේෂණ බොහොමයකට පාදක කරගන්නේ එම පණිවිඩ බවත් ය. එහෙත් ඔහුට ප්‍රශ්නයක්‌ විය. ඔහු පැවසුවේ දෙවියන් පණිවිඩ ලබා දෙන්නේ යුදෙව්වන්ට පමණක්‌ බවත්, තෝරාගත් ජාතිය තමන් පමණක්‌ බවත්, නුඹලාට (සිංහලයන්ට) ඒ ආකාරයෙන් පණිවිඩ ලැබිය නොහැකි බවත් ය. මා ඔහුට පැහැදිලි කළේ නුඹලා එක්‌ දෙවි කෙනකු ගැන විශ්වාස කළ ද අප බෞද්ධයන් ලෙස දෙවියන් බොහෝ දෙනකු ගැන දන්නා බවත් නුඹ ගේ දෙවියන් නුඹලාට පණිවිඩ ලබා දෙන ලෙස අප ගේ දෙවියන්ට එසේ කළ නොහැක්‌කේ මන්ද යන වගත් ය.

අවසානයේ ඔහු එසේ වීමට හැකි බව පිළිගත් අතර ආසනික්‌ පිළිබඳ අනාවරණය මෑත ඉතිහාසයේ යුදෙව්වන් නො වන පිරිසක්‌ සිදු කළ විශිෂ්ටතම අනාවරණයක්‌ ලෙස ඉතිහාසයට එක්‌ වනු ඇති බවට අනාවැකියක්‌ ද පළ කළේ ය. එතැනින් නො නැවතුණු ඔහු අද බටහිර වෛද්‍ය විද්‍යාව නමින් හඳුන්වන දැනුම් පද්ධතිය වර්ධනය වීම කෙරෙහි දෙවියන් ගේ දායකත්වය දීර්ඝ ලෙස පැහැදිලි කළේ ය. හෙතෙම මට පැවසුයේ ආසනික්‌ කතාවට අවමන් කරන අයට හිපොක්‍රටිස්‌ ගේ කතාන්දරය කියා දෙන ලෙසයි. ඒ අනුව හිපොක්‍රටීස්‌ පිළිබඳ කරුණු සොයා බැලීමක්‌ කළ අතර එහි දී දැනගත් තොරතුරු විදුසර පාඨකයන්ට ද වැදගත් වේ යෑයි හැඟුණු හෙයින් මෙසේ සටහන් කරමි.

“හිපොක්‍රටීස්‌ යනු ග්‍රීසියට දකුණින් පිහිටි කෝස්‌ නම් දූපතක උපත ලද අයෙකි. හෙතෙම ක්‍රි.පූ. 460-370 කාලයේ ජීවත් වූ ලෙස සැලකේ. එනම් අනුරාධපුරයේ පණ්‌ඩුකාභය රජතුමා රාජ්‍ය විචාළ කාලයට සමාන්තර කාලයකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස ලොව පුරා හිපොක්‍රටීස්‌ සම්භාවනාවට පාත්‍ර වේ. දක්‍ෂ වෛද්‍යවරයකු ලෙස සැලකෙන හිපොක්‍රටීස්‌ අනාවරණය කළ තොරතුරු අදටත් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන අතර ඒවා වැඩිදියුණු කිරීම පසුගිය වසර 500ක කාලය තුළ භෞතවේදීන් ගේ ප්‍රධාන කාර්යභාරයක්‌ විය.

හිපොක්‍රටීස්‌ට මේ දැනුම ලබා දුන්නේ ඇස්‌ක්‌ලිපියස්‌ නම් ග්‍රීක දෙවි කෙනකු බව පැවසේ. ග්‍රීක පුරාවෘත අනුව ඇස්‌ක්‌ලිපියස්‌ යනු වෙදකමට අධිපති දෙවියා ය. ඇස්‌ක්‌ලිපියස්‌ ගේ කතාව ද රසවත් එකකි. ඇස්‌ක්‌ලිපියස්‌ යනු මුල දී කොරෝනිස්‌ නම් කාන්තාවක ගේ කුසට පැමිණි දරුවකු ය. එම දරුවා ඇපලෝ දෙවියන් ගේ ආශිර්වාදයෙන් කොරොනිස්‌ ගේ කුසට පැමිණි බවත්, පසුව ඇපලෝ දෙවියන් ගැන කොරෝනිස්‌ ගේ සිතේ විශ්වාසය නැති වූ හෙයින් දරු ප්‍රසූතියට පෙර දේව ශාපයෙන් ඇය මිය ගිය බවත් සඳහන් ය. කෙසේ වෙතත් තම ආශිර්වාදය ලත් දරුවා ගැන සෙනෙහසක්‌ ඇති වී කොරෝනිස්‌ ගේ කුස විවර කර දරුවා එළියට ගැනීමට ඇපලෝ දෙවිඳු කටයුතු සලස්‌වා ඇත. අද සීසේරියන් සැත්කම ලෙස හඳුන්වන ක්‍රමවේදය මනුෂ්‍ය ඉතිහාසයේ පළමුවරට සිදු කළේ ඇස්‌ක්‌ලිපියස්‌ බිහි කිරීමට ය.

ඇපලෝ දෙවියන් ඇස්‌ක්‌ලිපියස්‌ට වෙදකමේ දැනුම ලබා දුන් අතර ඒ හේතුවෙන් ඔහු ප්‍රසිද්ධ වෛද්‍යවරයකු බවට පත් විය. එකල ග්‍රීසියේ සර්ප දෂ්ඨ කිරීම යනු කිසි ලෙසකින් වත් සුව කළ නොහැකි දෙයක්‌ ලෙස සැලකිණි. එහෙත් ඇස්‌ක්‌ලිපියස්‌ සතු ව විෂ අවශෝෂණය කරගත හැකි සුවිශේෂී දණ්‌ඩක්‌ විය. මේ හේතුවෙන් ජීවත් ව සිටිය දී ම හෙතෙම දෙවියකු ලෙස සලකන්නට ග්‍රීක වැසියෝ පෙලඹුණ හ. ඇස්‌ක්‌ලිපියස්‌ ගේ දණ්‌ඩ බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරූ කිසිවකුට හෝ අමතක වන දෙයක්‌ නො වේ. අදටත් සර්පයකු එතුණු දණ්‌ඩ බටහිර විද්‍යාවේ සංකේතය ලෙස සලකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිට ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය දක්‌වා බටහිර වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ සැම ජාත්‍යන්තර හා දේශීය සංවිධානයක ම මේ සලකුණ දැකගත හැකි ය.

ඇස්‌ක්‌ලිපියස්‌ට පුතුන් සය දෙනකු සහ දූවරුන් තිදෙනකු සිටි අතර ඔවුන් ද වෙදකමට සම්බන්ධ විය. ඇය ගේ වැඩිමහල් දියණිය “හයිජියා” නම් විය. ඉංග්‍රීෂි භාෂාවේ සනීපාරක්‍ෂාව, පිරිසිදුකම හැ`ගවීමට යෙදෙන හයිජින් (Hygiene) යන වචනය ගොඩනැ`ගී ඇත්තේ ඒ අනුව යමිනි. ඇස්‌කිලිපියස්‌ ගේ අසාමාන්‍ය දක්‍ෂතා හා සුව කිරීමේ හැකියාව ගැන තවත් ලෞකික දෙවි කෙනකු වූ සියුස්‌ වෛරයෙන් පසු වූ බවත් සියුස්‌ ගේ ශාපයට ලක්‌ ව ඇස්‌ක්‌ලිපියස්‌ට අකුණු පහරක්‌ වැදී මිය ගිය බවත් සඳහන් ය.

මිය යැමෙන් පසු ඇස්‌කිලිපියස්‌ එම නමින් ම දෙවි කෙනකු වී උපත ලැබී ය. ඔහු ගේ ආශිර්වාදය ලබා ගැනීමට ග්‍රීකයෝ “ඇස්‌කිලිපියන්” නමින් හැඳින්වූ ඉතා උස්‌ වූ දේවස්‌ථාන ග්‍රීසිය පුරා ඉදි කළ හ. වෙදකම උගන්වන ආයතන බිහි වූයේ ද ඇස්‌කිලිපියන් දේවස්‌ථාන ඇසුරු කොටගෙන ය. හිපොක්‍රටීස්‌ අධ්‍යාපනය ලැබුවේ කෝස්‌ නම් දූපතේ පිහිටි ඇස්‌කිලිපියන් දේවස්‌ථානයක ය. හිපොක්‍රටීස්‌ට ඇස්‌කිලිපියන් දෙවියන් සතු වූ දැනුම ලබා දුන් බවත් සිය දරුවකුට මෙන් කරුණාවෙන් ම`ග පෙන්වූ බවත් සඳහන් වේ. මේ සම්බන්ධය සැ`ගවීමට හිපොක්‍රටීස්‌ කිසි විටක උත්සාහ නො දැරී ය. අදටත් ලොව පුරා බටහිර වෛද්‍යවරු සිය ධුරයේ රාජකාරිය ඇරඹීමට පෙර දිවුරුමක්‌ ලබා දෙති. සියලු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙන්ම සීමාවාසික පුහුණුවේ යෙදෙන වෛද්‍යවරු ද මේ දිවුරුම ලබා දීම සිය සිහිනයක්‌ ලෙස සලකති. මේ දිවුරුම හැඳින්වෙන්නේ “හිපොක්‍රටීස්‌ දිවුරුම ලෙසයි. එය ආරම්භ වන්නේ මේ ලෙසයි

“I Swear by Apollo the Physcician and by Asclepius and by Hygieia and Panacea and by all the gods….”

එනම් ඇපලෝ, ඇස්‌ක්‌ලිපියස්‌ ඇතුළු දෙවිවරුන් ඉදිරිපිට දී පොරොන්දු වන බවයි.

ආයුර්වේදයට එම දැනුම ලැබුණේ බ්‍රහ්ම, දිව්‍ය, ආදි වූ මනුෂ්‍ය නො වන ජීව කොට්‌ඨාශවල අනුග්‍රහයෙන් බව ප්‍රකට කරුණකි. එහෙත් බටහිර ඇලෝපති වෙදකමේ පියා ලෙස සලකන හිපොක්‍රටීස්‌ට ද එම දැනුම ලැබී ඇත්තේ මනුෂ්‍ය නො වන පිරිසක ගේ උපකාරය ඇති ව බව අප බොහෝ දෙනා නො දැන සිටි කරුණකි. එපමණක්‌ නො ව බටහිර වෙදකමේ අද යොදාගැනෙන ඖෂධ, තාක්‍ෂණික ක්‍රමවේද සඳහා අවශ්‍ය මුල් ඉඟිය බොහෝ විට ලැබී ඇත්තේ මෙවැනි ප්‍රභවයකින් බව මට මුණගැසුණු ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයා උපහැරණ සහිතව පැහැදිලි කළේ ය. එපමණක්‌ නො ව මොසාට්‌ වැනි ප්‍රබල ඔත්තු සේවා මනුෂ්‍ය නො වන ජීව කොට්‌ඨාශ සමග ගනුදෙනු කළ හැකි, පණිවිඩ හුවමාරු කළ හැකි පුද්ගලයන් ගේ සේවා ලබා ගැනීමට විශේෂ ඒකක පිහිටුවා ඇති බව ද හෙතෙම හෙළි කළේ ය.

වෛද්‍ය චන්න ජයසුමන
jayasumanalk@yahoo.com

- Vidusra

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/90532/
අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk
 

ලොව්තුරු බුදුවරු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

තුන්ලොව ට ම අතිශ්‍රේෂ්ඨ, අතිදුර්ලබ, උත්තරීතර පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. බුදුවරයකු ගේ ශ්‍රේෂ්ඨත්වය නිවැරදි ව දේශනා කළ හැක්කේ තව ත් බුදුවරයකු ට ම පමණකි. බුදුගුණ අනන්ත ය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නො කර බුදුගුණ පමණක් දේශනා කළ ත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නො වේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය අවුරුදුවලින් මෙ පමණකැ යි දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ ය. සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය" නමින් හඳුන්වනු ලැබේ. “වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ. තව ද, බොහෝ කල්පයන් බුදුවරු පහල නො වන "ශුන්‍ය කල්ප" බව ත්, බුදුවරු උපරිම ව පහල වන මහභාද්‍රකල්පයේ වුව ද, චතුරාර්ය සත්‍ය කතා කෙරෙන කාලය ඉතා අල්ප බව ත් දැක් වේ. මේ කරුණු කිහිපය සැලකිල්ල ට ගත කල ලොව උතුම් ම පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය.


සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්‍රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා!" යැ යි වචනයෙන් ම ප්‍රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය. 


එක් කලෙක දී බ්‍රහ්ම ලෝකය හිස් ව යන්නට විය. සිටින බ්‍රහ්මයන් ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක් ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙය ට හේතුව කුමක් දැ යි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගත වී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැ යි බැලී ය. අනන්ත අප්‍රමාණ සිටින බව ත් උන්වහන්සේලා තව ම පෙරුම් දම් සපුරන බව ත් දුටුවේ ය. එ සේ නමුත් තමා ත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමු කළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවී ය.


එ විට ගමන් කළ නැව කැඩී මුහුදු බත් ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේ ය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු ට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැ යි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිම ට සේන්දු කොට මව ට ආරූඪ වී “ පුතේ නුඹ මතු දිනක බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එය යි.


එ දින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්‍රණිධානය පිරීම ඇරඹී ය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.

මෙ සේ මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.

මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති



යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.


ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ. 

ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.


පෙරුම් පිරීමේ අනුහස්


නියත විවරණ ලත් බෝසත්හු, සසර සරන කල් හි, අවීචියෙ හි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙ හි නො උපදිත්. ප්‍රේත ව නො උපදිත්. පරෝපකාර පිණිස සිය කැමත්තෙන් ද තිරිසන් ව උපදිත හැකි වෙතත් ඇතකු ට වඩා ලොකු හෝ වටුවකු ට වඩා කුඩා සතෙක් ව නො උපදී. මිනිස් ව උපදනා කල ස්ත්‍රී ව, පණ්ඩක ව, නපුංසක ව උභතෝඛ්‍යංජනක ව, නො උපදිත්. අනාන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්, අසංඥතලයෙ හි හෝ ශුද්ධාවාසයෙ හි නො උපදිත්. අන්තිම අත්බව් හි තුසිත දෙව් ලොවින් චුත ව මව් කුස පිළිසිඳ ගනු ලබයි. සිහි නුවණින් යුතු ව ම පිලිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුස වසත්. බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී ම බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම , පාරමී ධර්ම පිරීමෙන් ඇති වන අනුසස් ය. සමතිස් පාරමිතා පිරීමේ අග්‍රඵලය නම් උතුම් ලොව්තුරු බුදුබව යි.


පෙරුම් පුරන කාලය


රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්ෂයක් ද, පෙරුම් පිරිය යුතු. ය ලොව්තුරා බුදු බව ලබන්න ට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු ය.


මෙතෙක් පහල වූ බුදුවරු.


සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්ත්වය ට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑ ම කෙනකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ. 


මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක්‍ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක්‍ ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි. 


ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්න ට පෙර පාරමිතා පිරු කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇතිනම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණකැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ.


ප්‍රඥාධික , ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු.


ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේ ම පවතී. ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන් ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන් ට වඩා විර්යාධික බුදුරදුන් වැඩි ය. හේතුව පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි.


දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.

බුදුවරු කරුණු අටකින් අසමාන වෙති



සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති.

බුදුවරු කරුණු සතරකින් සමාන වෙති



බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.


බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි


සියලු බුදුවරුන් ට සාධාරණ ව එක ලෙස සිදුවන ධර්මතා තිහක් ඇත.

01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම.
02. මවුකුස පලක් බැඳ බලාසිටීම.
03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම.
04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම.
05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම.
06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම.
08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම.
10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම.
11. මාර පරාජය සිදු කිරීම.
12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම.
13. සත්සතිය ගතකිරීම.
14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම.
15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම.
16. ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම.
17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය.
18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම.
19. තව්තිසාවේ අභිධර්ම දේශනාව.
20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම.
21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම.
22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම.
23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම.
24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව.
25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව.
26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම.
27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම.
28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම.
29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම.
30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම.


බුද්ධ වංශ පිළිබඳ හොඳින් විමසා බැලූවිට පෙනෙන කරුණක් වන්නේ බුදුවරු පහල වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහල නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල බව යි. තව ත් කරුණක් වන්නේ බුදුවරු දෙනමක් අතර කාලසීමාව මෙතෙකැ යි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයක් වීම යි. අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු.


තෙරුවන් සරණ යි!
අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

Monday, April 22, 2013

මවට පහර දුන් වරදට දඬුවම දෙපැයෙන්

පුද්ගලයා විසින් ස්වකීය ජීවිතය තුළ දී සිය උපාදානාස්කන්ධ සන්නතියට එකතු කැර ගන්නා, මිශ්‍ර කැර ගන්නා, පින් පව් හෙවත් යහපත් අයහපත් ක්‍රියා පුරුදු ද අත්දැකීම් ද එම උපාදානස්කන්ධ සංයුතිය සමඟ ම ගමන් කැරේ. මෙසේ උපදවන කර්ම චේතනා තරංග ලෙස නිකුත් වී විශ්ව සන්නායක ජාලයට පිවිස ඒ ජීවිත කාලයේ දී ම ආපසු පැමිණ විකාශය වේ. මෙය “දිට්ඨධම්මවේදනීය” විපාකය ලෙස නම් කොට ඇත.

මිනිසා අපරාධයේ දරුණුතම හා ඊට ලැබෙන ප්‍රතිවිපාකය දන්නවා නම් කිසි දවසක වැරදි කරන්නේ නැත. මිනීමැරුමක් නොවුණත්, බල අපරාධයක් ලෙස නීති පොත්වල සඳහන් නොවුණත්, සිතේ හට ගත් දරුණු ආවේගය පිට කැර ගැනීම සඳහා කලින් සැලසුම් නොකළා වූ ද එහෙත් සොබා දහම කම්පාවට පත්වන අයුරින් ක්ෂණිකව සිදු කළ වරදකට පැය කීපයක් ඇතුළත විපාක විඳීමට සිදු වූ කතාවකි මේ. විශ්ව ශක්තිය විසින් ක්ෂණිකව දඬුවම් කළ අවස්ථාවකි. දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයකි.

සරත් කුඩා කල ම ඔහු ගේ පියා හදිසි අසනීපයකින් මිය ගියේය. වෙනත් නෑදෑයෙකු ගේ උදව්වක් නොලැබුණ ද, නෑදැයින් සිටියත් ඔවුන්ට ද ඒ තරම් හයියක් නොතිබුණු නිසා ද සුමනාවතී කාටවත් අතපාන්නට ගියේ නැත. කඩයප්පන් ටිකක් තම්බා ගමේ කඩවලට දැමීමෙන් ද, බීඩි කොම්පැණියෙන් කොළ ලබා ගෙන බීඩි ඔතා ඒ කොම්පැණියට ම දීමෙන් ද පනං හතරක් උපයා ගත්තේ පොඩි එකා හදා වඩා ගැනීමේ උවමනාවත් ධෛර්යයත් නිසා ම ය.

පොඩි එකා ඉස්කෝලයට ඇතුළත් කිරීමත් සමඟ සුමනාවතීට වියදම්, අමාරුකම් ඉහළ ගියේ ය. ඒ සමඟම 71 කලබල කාලයේ බීඩි කොම්පැණිය ද වසා දමනු ලැබිණි. එයින් අධෛර්යමත් නොවූ සුමනාවතී ගල් වළේ ගල් කඩන්නට ගියාය. සුමනාවතී මෙසේ දහදුක් වින්දේ සරත් ගේ දෑස් පාදා උස් මහත් කොට මනුස්සයෙක් කිරීමට ය.

එහෙත් සරත් ඉගෙනුමට ඒ තරම් උනන්දුවක් නොදැක් වූ අතර පාසල ඇරී ගෙදර ආ හැටියේ කොල්ලන් සමඟ කෙළි සෙල්ලමට ගියේය.

ගෙදර දී පොතක් අතින් ඇල්ලුවේ නැත. දෑත්වල කරගැට නැගෙන තුරු ගල් වළේ ගල් කඩා හැන්දෑ වී ගෙදර එන සුමනාවතී කොලුවා ගේ කුස පුරවන්නට යමක් තම්බා කන්නට දී කුස්සියේ වැඩ අවසන් වන විට ඇගේ අතේ පයේ රුදාව, ඇඟේ මහන්සිය විසින් ඇය පැදුරු කඩමාල්ල මතට තල්ලු කරනු ලබයි. සරත්ට ගෙදර දී අමතර ඉගැන්වීමක් කැරවීමට හෝ පාසලේ වැඩ කටයුතු ගැන හොයා බැලීමට පවා ඇයට නුපුළුවන් විය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සරත් අධ්‍යාපනයට ආයුබෝවන් කියා ගමේ කොලු රැළට එකතු විය. ඒ සමඟ ම දුම්පානයටත්, සුරා පානයටත් පුරුදු විය. ගමේ පෙදරේරුවකු වූ පියසේන බාස් උන්නැහේ තමන් ගේ අත්වැඩ කාරයා වශයෙන් සරත් කැඳවා ගෙන ගියේ දිනපතා හැන්දෑවට නියමිත කුලිය ද ලබා දුන්නේ ය. මුලදි මුලදී තමා උපයන මුදලින් සොච්චමක් හැන්දෑවට අම්මාගේ අතේ තැබුව ද පසුව ඒ හැම සතයක් ම මත්පැනට ම වියදම් කළේ ය. පියසේන බාස් ද ගෝලයාට අවවාද උපදෙස් දුන්නත් සුරාපානයෙන් සරත් වළක්වා ගන්නට ඔහුට ද නොහැකි විය.

මේ අතර පියසේන බාස් ගේ නැගණිය ලලිතා සමඟ සරත් ගේ ඇයි හොඳයියක් ගොඩනැගී තිබුණි. සරත් ගේ හැටි දන්නා නිසා ම පියසේන බාස් මේ සම්බන්ධයට විරුද්ධ විය. එයින් ම සරත් ඔහු සමඟ අමනාප වී වැඩට යෑම ද අත් හළේ ය. සරත්ටත් ලලිතාටත් වෙනදා මෙන් මුණ ගැසී ඇයිහොඳයිකම් පවත්වන්නට නොහැකි තරම් වැට කඩොලු තර කැරිණි. දිනක් හැන්දෑවේ සරත් තම නිවසට ලලිතා කැඳවාගෙන ආවා ය. සුමනාවතී හිටි හැටියේ සිදු වූ මෙම ආගමනයෙන් අන්ද මන්ද වී ගිය ද කිසිවක් නොකියා ඉවසා දරා ගත්තා ය. වෙනදාට වඩා නෑඹිලියට හාල් හුණ්ඩු බාගයක් එකතු කළා ය. නැති බැරිකම් කොයි තරම් තිබුණ ද කඩේ වහන්නට පෙර දුව ගොස් ණයට කුකුළු මස් ටිකක් හා පපඩම් පැකැට්ටුවක් ද ගෙනාවාය. කෙසේ නමුත් ලලිතා ගේ පැමිණීම සුමනාවතීට අත් උදව්වක් විය. ඇය කුලී කුරක්කමට ගොස් වෙහෙස මහන්සිව ගෙදර එන විට ගෙදර වැඩ පොළ ලලිතාගෙන් ඉටු වී තිබීම ඇයට පහසුවක් විය. සරත් ද දින දෙක තුනක් හිතේ ආශාවට සිය තරුණ බිරිය සමඟ ගෙදරට වී සිටිය ද ඉන් පසු ගමේ හෝ යාබද ගමක කුලී වැඩක් සොයා ගියේ ය.

ඔවුන් ජීවත් වූ නිවස පාරට මුහුණලා පිහිටි එකක් විය.”අම්මේ! හැමදාම අම්මාට ඔය තරම් දුක් මහන්සි වෙන්න බැහැනෙ. මගේ ළඟ ඉතුරු කර ගත්ත සල්ලි ටිකක් තියෙනවා. අපි මෙතැන පුංචියට තේ කඩයක් දාමු ද? අම්මටත් කඩයප්පන් ටික හදා දෙන්න පුළුවන්නෙ” යි දිනක් රාත්‍රී ලලිතා කළ යෝජනාවට සුමනාවතී ද එකඟ වූවාය.

“අනේ! හොඳයි දුවේ! එහෙම නම් කොච්චර දෙයක් ද? දැන් මගෙත් නිතර වාත අමාරු, හන්දිපත් රුදාව. එදා ඉඳල ම දුක ම වින්දා මිසක හිතටවත් නිස්කාංසුවක් ලැබුණේ නැහැනෙ” යි සුමනාවතී ද එකඟතාව පළ කළා ය.

ලලිතාගේ තේ කඩය ගමේ අයට ද එක්තරා පහසුවක් විය. එහි නිතර එකා දෙන්නා ගැවසෙන්නට වූහ. එහෙත් එතැන අසල්වැසි තරුණයන්ගේ ගැවසීම සරත් ගේ හිතට මොකක්දෝ කුහුලක් ගෙනාවේය. එහෙත් කඩයක් වුණා ම එහෙම නැතුවත් බැරි බව සිතා නිහඬ විය. සුමනාවතී සිය ලේලියට ඉත සිතින් ම උදව් කළ අතර, ගල් වළේ වැඩට නොගියත් ඉඳ හිට අහල පහළ කෙනෙකුගේ වැඩකට හෝ ගොවිතැන්වල ගොයම් කැපීමක් වැනි වැඩකට ගොස් තවත් අමතර මුදලක් උපයා ගත්තා ය. ඒ අතර සරත් කුලී වැඩකට ගියත් හැන්දෑවට ගෙදර එන විට බීමත්ව එන්නට පටන් ගත්තේ ය. බහින්බස් වීම් ද පටන් ගත්තේ ය. එහෙත් ලලිතා සියල්ල ඉවසා දරා ගෙන කටයුතු කළා ය.

සරත් තාත්තා කෙනෙකු වෙන්නටත් තව මාස දෙකකට වඩා නැත. ගමේ කසිප්පු පොළට ද සූදු පිටිය ද නුදුරු බෝක්කුව උඩ රස්තියාදු කාරයන් ගේ සමාගමයට එක් වූ සරත් දැන් කුලී වැඩට යෑමට ද උනන්දුවක් නැතිව බීමට ම කාලය ගත කරන්නට පටන් ගත්තේ ය. නිතර ගෙදර අඩදබර රජ කරන්නට විය. පිඟන් පීරිසි පියාසර කරන්නට විය. යළිත් පවුලේ අඟ හිඟකම් හිස ඔසවන්නට විය. කඩයප්පන් වෙළෙඳාම ප්‍රමාණවත් නොවන තැනට පත් වූ පසු බැරිම තැන ලලිතා නගරයට යන කෙනෙකු ලවා සීල් බෝතලයක් ගෙන්නා ගෙන කාල අරික්කාල විකුණන්නට ද වූවා ය.

දිනක් සරත් ලලිතාගෙන් අරක්කු කාලක් ණයට ඉල්ලුවේය. “ණයට දෙන්න හම්බ කරන මිනිහෙක් වෙන්න එපා” යැයි ඇගේ මුවින් පිට වෙන කොට ම

“උඹ එහෙනං දැන් ගනුදෙනු කරන්නේ හම්බ කරන එවුන් එක්ක විතර දැ”යි ප්‍රශ්න කරමින් ලලිතාට පහර දෙන්නට විය. ඒ වේලාවේ කඩේ තේ බොමින් සිටි දෙදෙනෙක්

“තිරිසනෝ! මේ ගැබ්බර එකීට ගුටි අනින්න උඹට ලැජ්ජා නැද්දැ”යි සරත් පැත්තකට ඇද දැම්මේය.

මේ වන විට මිදුලේ එළා ගත් පොල් අතු ඉරුවක් වියමින් සිටි සුමනාවතී ද

“ගෑනියෙක් ගෙ හම්බ කෙරුවාවෙන් ජීවත් වෙන බේබද්දෙකුට මොන ලැජ්ජාවක් දැ”යි කීවා ය. කෝපයෙන් හා ලැජ්ජාවෙන් පුපුර පුපුරා සිටි සරත් ගේ කෝප ගින්නට විසි කැරුණු ඒ බූමිතෙල් පහරින් එක් වර ම මිදුලට පැන්න සරත් ඇණ තියා ගෙන පිටුපා සිටි මෑණියන් ගේ පස්සා පැත්තට වේගවත් පා පහරක් එල්ල කළේ ය. උඩින් වීසි වී ගිය සුමනාවතී පාර අයිනේ කානුවට වැටුණේ ය. කඩේ සිටි අය ඇය ඔසවා ගොඩට ගන්නා විට සිය බයිසිකල් කටුව දෙපරැන්ද අස්සේ ගසා ගත් සරත් ගෙදරින් පිට වී ගියේ ය. කානුවට වැටුණු සුමනාවතීගේ අත මැණික් කටුව ළඟින් කැඩී ගිය අතර මුහුණ බෝතල් කටුවකට කැපී ලේ ගලන්නට විය. ඇය රෝහල කරා ගෙන ගියහ.

බෝක්කුව උඩ රස්තියාදු ගසමින් සිටි පාප මිතුරන් ගේ සමාජයට ගිය සරත්, බෝක්කු කණ්ඩියට පය ගසා ගෙන බයිසිකලය මත ම වාඩි වී සිටියේය. මේ අතර ඉදිරිපසින් මීහරක් පට්ටියක් ගමන් කරමින් සිටි අතර මී හරක් දක්කාගෙන ආ කොලුවා

“අයියේ! ඔය ඉස්සරහින් එන මීමා අනිනවා. අයින් වෙයල්ලා” යි අනතුරු ඇඟෙව්වේ ය. තරුණ පිරිස පාරෙන් ඉවතට පැන ගත්හ. සරත් බයිසිකලය මත ම නොසෙල් වී සිටියේ ය. හිටි හැටියේ නතර වූ මීමා කන් දෙක කෙළින් කොට හිස ඔසවා “උඹ චණ්ඩියෙක්දැ”යි අසන්නක් මෙන් සරත් දෙස මොහොතක් බලා සිටියේය. පැන්න ගමන් ඇන්නේ ය. ඇන ගෙන ඇන ගෙන ගියේ ය. ගව පාලයාටවත් නතර කරන්නට බැරි විය. ඌට ම ඇති වී නතර කළේ ය.

සරත් ගේ දණහිසින් කකුළ එල්ලා වැටෙන්නට විය. කැඩුම් බිඳුම් ගණනාවක් සහිතව ඔහු ද රෝහල් ගත කැරිණි. ඒ රෝහලේ දී පරීක්ෂා කොට දණහිස පොඩි පට්ටම්ව ඇති බැවින් හම්බන්තොට මහ රෝහලට වහාම පිටත් කැර හැරියේය. එහි දී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු සරත් ගේ කකුළ දණහිස ළඟින් කපා ඉවත් කළහ.

දස මසක් කුස හොවා වදා උස් මහත් කළ ගෙදර බුදුන්ට පා පහර දී දෙපැයක් යන්නට මත්තෙන් දිට්ඨධම්මවේදනීය පාප කර්ම විපාකය ක්‍රියාත්මක වූ වග යි.



අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

සිංහලයන් නැතිදාට බුදු දහම...?

අතිපූජ්ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
දවස 1984.05.14


“ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ”

“ජාති මෙ සිංහල බුදු සමයෙන් පිට ගියදා වැනැසෙයි භූපතිනේ” මෙය පුරාණ ගොවියන් කුඹුරු කොටමින් කී කවියෙක පදයෙකි. “බුද්ධාගම නැතිදාට සිංහල ජාතියත් නැත්තට ම නෑ” යයි කීවේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් තුමා ය.

බුද්ධාගමෙන් තොර සිංහලයෙක් ද නැත. සිංහලයාට බුද්ධාගමෙන් තොර කිසිවකුත් නැත යනු උගතුන් විසින් පිළිගන්නා ලද සිද්ධාන්තයෙකි.

මේ හැම කියමනෙකින් ම ප්‍රකාශ වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් අතර කොතරම් දැඩි සම්බන්ධයක් පැවැතුණා ද, දැන් පවතී ද යන්න යි.

‍යම් කිසි ජාතියෙක වැදැගත්කම දැක්විය හැකි ගොඩනැඟිලි, නාට්‍ය හා චිත්‍රකලා, සාහිත්‍යය, ඉතිහාසය, ශිෂ්ටාචාරය, වර්ෂය හා කොඩිය යන ආදී මේ හැම දෙයින් ම සිංහලයාට නම් බුද්ධාගමෙන් තොර ව පෙන්විය හැකි කිසිවක් නැත. බෞද්ධ වචනවලින් තොර ව සිංහලයාට කතා කරන්නට වචන වත් සොයා ගැනීම දුෂ්කර ය. ඒ බව උදේ ගුවන්විදුලියේ “දවසේ සිතුවිලි” වලට ඇහුම්කන් දුන් විට වැටැහෙනවා ඇත.

මේ කාරණය නිසා අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් ලංකාවේ පැවැතුණේ බෞද්ධ පරිස‍රයෙකි. ලංකාවේ බෞද්ධ පරිසරය කොපමණ හොඳින් පැවැතුණාද යනු ලෝකයෙහි පැතිරී ගිය ගුණ ඝෝෂයෙන් ම පැහැදිලි වෙයි. චීන ජාතිකයන් “රත්නදීප” යයි ද, සියම් ජාතිකයන් “දේව ලංකා” යයි ද, බුරුම වැසියන් “සිංහ විහාර” යයි ද, හින්දූන් “ස්වර්ණ ලංකා” යයි ද ව්‍යවහාර කළේ තම ගෞරවය මේ දිවයිනට දැක්වීමට ය.

“තම්බපර්ණී” ද්වීපය චෛත්‍ය මාලායෙන් ද, අර්හත් ධ්වජයෙන් ද බබළයි. එහි රිසියෙන තැනෙක හිඳිනට ද හෝනට ද හැකිය. ඍතුසප්පාය, සේනාසනසප්පාය, පුද්ගලසප්පාය, ධම්මසවණසප්පාය යන හැම පහසුකමක් ම සුලබ යයි දඹදිව පුරා පැතිරී තිබුණු කීර්ති රා‍වයෙන් ද ලංකාවේ පැවැති පරිසරය කෙබඳු දැ යි සිතා ගත හැකි ය.

පෙර ලක්දිව මහාමාර්ග, පදික මාර්ග, පැන් හල්, ගේ දොර, තොටුපළවන්, කඳු කැලෑ, ගල්ලෙන්, ගුහාකුටි, විහාරශාලාදී ස්ථානයන් අතුරින් යම් යම් අය මාර්ග ඵල නො ලත් තැනක් නම් නොවූ බව ද, පිඬු සිඟා වැඩ මඳක් බලාපොරොත්තු වන ප්‍රස්තායෙහි පවා ඇතැම් පැවිද්දන් මග පල ලැබූ බව ද, එක් කලෙක ලක්දිව එක ම පුහුදුන් භික්‍ෂුවක්වත් ‍නො සිටි බව ද විභංග අටුවා‍හි සඳහන් වේ. මෙයිනුදු ලංකාවේ තිබුණු පරිසරය කෙබඳු දැයි සිතා ගත හැකි ය.

මෙසේ ලංකාවේ අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක් පැවැති බෞද්ධ පරිසරය විදේශීන්ගේ පැමිණීම නිසා ඉබේ ම නැති වුණා නො‍ වේ. එය ඔවුන් විසින් බලයෙන් ම විනාශ කරනු ලැබිණි. එසේ විනාශ වුණු බෞද්ධ පරිසරය නැවතත් ඇතිකැර ගැනීමට තිබෙන බාධා නැතිකැර දැමීමට බලවත් උද්ඝෝෂණයක් ඇති කළ යුතු ය.

බෞද්ධ පරිස‍රයට ඇති බාධක මොනවා ද?

1. මෙරට හා පිටරට මත්පැන්

2. රේස් හා කානිවල් නමින් හැඳින්වෙන නා නා සූදු

3. අඩ නිරුවත් නැටුම්

4. කොක්ටේල් පාටි

5. ආලිංගන නැටුම්

6. සතුන් ඇති කැරැගෙන කන්නට උගන්වන ආයතන

7. කාමකෝප අවුස්සන අසභ්‍ය චිත්‍රපට, රූපවාහිනිය, කැසට් ටේප්, වීඩියෝ ටේප්, පොත් පත්

8. ගුණ දහම් වනසන අබෞද්ධ අධ්‍යාපනය


යන මේවා බෞද්ධ පරිසරයට ඇති බාධකයන්ගෙන් කිහිපයෙකි.

විශේෂයෙන් අබෞද්ධ අධ්‍යාපනය මේ හැම දුශ්චරිතයකට මුල් වෙයි. එය ඔප්පු කිරීමට මේ අධ්‍යාපන ක්‍රම ඉහළටම දියුණු වී ඇති අමෙරිකාවේ දුශ්චරිත ලේඛනය ඔබට උපකාර වෙනවා ඇත.

අපරාධ අධ්‍යක්‍ෂවරයාගේ වාර්තාව අනුව හැම තත්පර 15 කට ම අමෙරිකාවේ මහා අපරාධය බැගින් සිදු වේ. හැම විනාඩි 40 කට ම මිනී මැරීමක් හෝ සිය දිවි නසා ගැනීමක් හෝ ගැන අසන්නට ලැබේ. විනාඩි 29 කට එක බැගින් ස්ත්‍රී දූෂණ සිදු වෙයි. හැම විනාඩි 8 කට වරක් සොරකමක් හෝ විනාඩි පහකට වරක් පහර දීමක් හෝ වාර්තා වෙයි. විනාඩියෙන් විනාඩියට ගෙවල් බිඳීමක් වාර්තා වෙයි. තත්පර 25 න් 25 ට සුළු සොරකමෙකි. විනාඩි දෙකහමාරකට වරක් මොටෝ රිය සොරක‍මෙකි.

තමා පරීක්‍ෂා කළ අමෙරිකා‍නු කාන්තාවන්ගෙන් 26% ක් ද, පිරිමින්ගෙන් 50% ක් ද විවාහයෙන් පසු ව දුසිරිතෙහි යෙදෙන බව ඔප්පු වී ඇතැයි වෛද්‍ය කිංසි කියා ඇත. තමාට හමු වූ අමෙරිකානු ස්ත්‍රීන්ගෙන් 50% ක් විවාහයට පෙර අනාචාරයේ හැසුරුණු අය වන අතර, උගත් ශිෂ්‍යාවන් අතර නූගත් අයට වඩා දුරාචාරය වැඩි යයි ද දොස්තර කිංසි කියයි. තමා පරීක්‍ෂා කළ ගැහැණුන්ගෙන් 90% ක් සිරගෙට යැවිය හැකි තරම් දරුණු “කාම වැරැදි” කැර ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් කියයි.

තම දරුවන් අසත්පුරුෂ විදේශීන් විසින් පෙත්තෙන් පෙත්තට කපනු ලබද්දීත් බුද්ධාග‍ම අත් නොහළ සිංහලයා තනතුරට, රක්‍ෂාවට, ආවාහ විවාහයට පවා ආගම අත් හරින තත්වයට පැමිණියේ මේ අබෞද්ධ අධ්‍යාපනය නිසා නො වේ ද? අප රට වැද්දන් පවා පන්සිල්හි තුන්වැනි ශික්‍ෂාපදය කඩ නො කොට ආරක්‍ෂා කළ බව වැද්දන් ගැන තොරතුරු සෙවූ සී. ජී. සෙලිග්මාන් මහතා ලියා ඇත. අද ඒ තත්ත්වය වෙනස් වී ඇත. එ බඳු කරුණුවලින් වැද්දන් පවා අශීලාචාර වූයේ මේ අබෞද්ධ ව්‍යාපාර නිසා නො වේ දැයි සලකා බලන්න.

කරුණු මෙ සේ හෙයින් බෞද්ධ පරිසරයක් නැවත ඇති කිරීමට නම් රටේ අධ්‍යාපනය මෙ රට ශිෂ්ටාචාරයට අනුකූල විය යුතු ය.

බෞද්ධ අධ්‍යාපනය යනුවෙන් විශේෂ අධ්‍යාපන ක්‍රමයක් නො විය හැකි ය. මෙ කල උසස් යැයි පිළිගත් කවර අධ්‍යාපන ක්‍රමයක් වුවත් දිය යුත්තේ සංවරය, හැදියාව පසුබිම් කැරගෙන මේ රටේ ශිෂ්ටාචාරයට ගැළැපෙන පරිදි ය. ලංකාවේ ශිෂ්ටාචාරය බෞද්ධ ශිෂ්ටාචාරය යි. එය කාහට වත් හානිකර එකක් නො වේ. අපේ ශිෂ්ටාචාරයට ගැළැපෙන අධ්‍යාපනයක් ලැබූ කාලයෙහි අප රට පැවැති සාමය කොපමණ උසස් දැයි ඉතිහාසයෙන් හා ලෝක වාර්තාවලින් ද දැන ගත හැකි ය. ඉන් කීපයක් මෙසේ ය.

මැනැවින් හැඳ පැලඳ ගත් රූමත් අඟනකට වටිනා මැණිකක් අතැ තබාගෙන ලංකාවේ මුළුල්ලේ ම ඇවිදින්නට පිළිවන්කම තුබුණු බව රංගිරි දඹුල්ලෙහි සෙල් ලිපියෙන් පෙනේ.

“මාගේ මුතුන් මිත්තන් වනචාරී ව සිටිය දී යුෂ්මතුන් ගේ මුතුන් මිත්තන් සතු ව තිබුණු සභ්‍යත්වයත් දක්‍ෂතාවයත් ගැන සිතූ මා තුළ ඉතා ම නිරහංකාර නිහතමාන සිතිවිලි බලපවත්වන්නට විය” මේ වනාහි ලක්දිව පළමු නිදහස් උත්සවයට පැමිණි මහා බ්‍රිතාන්‍යයේ ‍විදේශ භාර ඇමැති තැන්පත් ලිස්ටෝවල් සාමි කළ ප්‍රකාශයෙකි.

ලංකාවේ අවුරුදු විස්සක් පමණ වාසය කළ රොබට් නොක්ස් තුමා කීවේ මෙසේ ය. “සිංහලයෝ වනාහි දඹදිව දී මා විසින් දක්නා ලද අන් හැම මිනිසුනට ම වඩා යහපත් අය වෙති. ඔවුහු අන් හැම මිනිසුනට ම වඩා භාග්‍ය සම්පන්න ද වෙති. ඔවුහු මධුර කථා ඇති ආචාරශීලී මනුෂ්‍යයෝ ය.

සිංහලයන්ගේ ගුණ ධර්ම සැකෙවින් වර්ණනා කරත හොත් මෙසේ ය. ඔවුන්ගේ ගමන් ලීලාව ද, හැසිරීම ද ඉතා උදාර ය. යම් කිසිවක් වහා තේරුම් ගත හැකි විචක්‍ෂණ ඥානයක් සිංහලයනට ඇත්තේ ය. ඔවුහු ස්වභාවයෙන් මස් කෑමත්, මත් පැන් බීමත් අප්‍රිය කරති. ඔවුහු කිපෙනසුලු නො වෙති. කෝපයක් ඇති වුව ද එය වහා සංසිඳවා ගෙන සමඟි වෙති. සිංහලයෝ ඇඳුමෙන් පිරිසිදු ය. ඉතා ශිෂ්ට ලෙස ආහාර අනුභව කරති, වැඩි වේලා නො නිදති. සිංහල ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීත ය. ගමන් ලීලාව ද ඉතා සංවර ය. සිංහල ස්ත්‍රීහු අරපරෙස්සමෙහි ඉතා දක්‍ෂ වෙති. ස්වාමි පුරුෂයෝ ස්වකීය භාර්යාවන් අතිශ‍යින් ම විශ්වාස කෙරෙති. සිංහල ස්වාමි දුව කොතරම් මහේශාඛ්‍ය වුවත් කොතරම් දැසි දසුන් සිටියත් සියතින් ම ගෙදර සියලු කටයුතු කරති.

සිංහලයෝ උදේ සවස පිළිම වහන්සේ ඉදිරියෙහි මල් පූජා කෙරෙති. නවගුණ වැල් අතින් ගෙන නිතර භාවනාවෙහි යෙදෙති. සොරකම අතිශයින් ම පිළිකුල් කොට සලකති. කිසි ම සිංහලයකු කවදාවත් සොරකමක් කළ බවක් මම නො දනිමි. සිංහලයෝ කරුණා කෙරෙති. පරහට උපකාර කෙරෙති. ආගන්තුකයනට දයාවෙන් සංග්‍රහ කෙරෙති. සිංහලයන් ළඟ මේ ගුණ ධර්ම ඇති බව අත්දැකීමෙන් ම දනිමි.

සිංහලයන්ගේ භාෂාව ද සිංහලයන් මෙන් ම පොහොසත් ය. එය මටසිලිටි ය. සුමධුර ය අලංකාර ය. සිංහලයෝ චතුර කථිකයෝ ය. සිංහල ද්වීපයෙහි එක ම සිංහල හිඟන්නෙක් වත් නැත.”

මේ කරුණු හොඳින් සලකා බලා බෞද්ධ පරිසරයකට ඇති බාධා දුරු කොට උපකාරක ධර්ම ළඟා කොට බෞද්ධ පරිසරයක් ඇති කිරීමට හැම බෞද්ධයකු ම උත්සාහ දැරිය යුතු ය. එ‍‍සේ කිරීමට නම් ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා හා ලංකාවේ දුටුගැමුණු රජතුමා ආදී‍න් මෙන් නිර්මල බුද්ධ ධර්මය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර විය යුතු ය.

ගමක් පාසා බෞද්ධ පාඨශාලා හා දහම් පාසල් ඇති කළ යුතු ය. හැම ආරාමයක ම ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පවත්වා මහජනයාට ද ධර්මය ඉගැන්විය යුතු ය. සීල භාවනාදී ගුණ ධර්ම පුරුදු පුහුණු කරවිය යුතු ය.

පන්සලේ දී මෙන් ම ගෙදර දීත් පාසලේ දීත් සමාජයේ අන් හැම තැන්වල දීත් හැම කතාවක්, හැම ක්‍රියාවක්, හැම සිතිවිල්ලක් හා හැම ඉරියව්වක් ම ධාර්මික ව පවත්වන්නට පිළියෙල යෙදිය යුතු ය.

උපුටා ගැනීම - http://www.buddhistculture.net/35233538345835243517351435053530-3505353635013538350335353495-3510354035033540-350335243512.html

අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

පරාජයෙන් ලොව ජය ගත් කරුණානන්ද

ජයග්‍රහණය නොව සහභාගිත්වය ක්‍රීඩාවේ උතුම්ම පරමාදර්ශය බව ලොවට පසක් කල දිගු දුර ධාවන ශුරයෙකු වූ ආර් .ජේ .කේ .කරුණානන්ද පරාජය තුලින් ජයග්‍රහණයෙන් ලබන කීර්තියට වඩා වැඩි කීර්තියක් අත්කර ගත් බව නොරහසකි.

ක්‍රීඩා ලෝලීන් රණතුංග කරුණානන්ද නමින් හැදින් වූ ඔහු එකල (1962) මීටර් 5000(පිරිමි) ජාතික ශුරයා ලෙස කිරුළු පැළදිය. 

යුධ හමුදාවේ සේවය කල කරුණානන්ද එතෙක් ඉන්දීය ක්‍රීඩකයකු සතුව තිබු මීටර් 10 000(පිරිමි) ජාතික වාර්තාව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට සතු කර දෙමින් එහි නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් විය .ඔහු පරාජය තුලින් ලොව පුරා කිර්තිය ලද අතර 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 10 000(පිරිමි) ඉසව්වෙන් 29 වන ස්ථානය ලද්දේ වට තුනක් ක්‍රීඩාංගනයේ හුදෙකලාව දිව යමිනි .

ඔහු තරගය නිමා කරන විට ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ජනතාව අසුන් වලින් නැගිට ඔහුට දැක්වූ ගෞරවය සහ ආචාරය ගැන ලංකාවේ පළමු ක්‍රීඩා ඇමති වී .පි .සුගතදාස මහතා ප්‍රකාශ කර සිටියේ ඩොලර් දහස් ගණනක් වැය කොටවත් ලබා දිය නොහැකි වූ ගෞරවයක් මේ පුංචි ක්‍රීඩකයා ශ්‍රී ලංකාවට ලබා දුන් බවයි

වසර 1968 දක්වා මීටර් 5000 සහ 10 000 යන ඉසව් දෙකෙන්ම දස්කම් දැක්වූ කරුණානන්ද 38 හැවිදිරි වියේදීම ක්‍රීඩාවෙන් පමණක් නොව දිවියෙන්ද සමුගත්තේය .ඒ 1974 වසරේ අම්පාරේදී හදිසි අනතුරකට ලක් වීම නිසයි .

(විජය පුවත්පතේ පල වූ ලිපියක් ඇසුරෙනි )

අඬහැරය - 2013/01/31

අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk

Sunday, April 21, 2013

බුදුරදුන් දෙසු ලෝක විෂය දෙස විදු ඇසින් බලමු

කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක, විද්‍යා කීර්තී,

ආචාර්ය චන්දනජයරත්න

(1) අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?

එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්.

විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහයින් සූර්යා වටාත් ගමන් කරන බව කියන සංසිද්ධිය කොතරම් දියුණු වුවත් බොරු කළ නොහැකියි. මෙහිදී සිදුවන්නේ ඒ විෂය පිළිබඳ විස්තර නවීන විද්‍යා පර්යේෂණ මගින් තව තවත් සොයා ගැනීම පමණයි.

තාරකා විද්‍යාවෙන් සොයා ගෙන ඇති දේවල් රාශියක් එයට බොහෝ කාලයකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා. නවීන පර්යේෂණ මඟින් පවා ඒවා තව තවත් සනාථ වෙනවා. ඉතින් මේ පිළිබඳ විස්තර කියවන ජනතාව වේගයෙන් බුදුදහම වෙත ඇදී එනවා. පසුගිය වසර 10 – 20 කාලය තුළ ඇමරිකාවේ පමණක් බෞද්ධයෝ මිලියන 18 ක් ගොඩනැඟී තියෙනවා. ඒ අයට තේරෙනවා බුදුදහමේ තියෙන විශ්වසනීයත්වය හා සත්‍යය.

(2) එසේනම් විද්‍යාව බුදුන් සරණ ගියේ ද?

මෙහිදී සරණ යාමකට වඩා අප කථා කළ යුත්තේ සැසඳීමක් පිළිබඳව. කාලාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින් පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි 2550 වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.

(3) බෞද්ධ විශ්ව විද්‍යාව යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක විශ්වය පිළිබඳ විවිධ කරුණු අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථාන වලදී බෞද්ධ සූත්‍ර 20,000 කට ආසන්න ප්‍රමාණයක් දේශනා කළා. මෙයින් සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව මේ විෂය බෞද්ධ විශ්ව විද්‍යාව (Buddhist Cosmology) ලෙස හඳුන්වනවා. එහි ඇතුළත් කරුණුත් අද නවීන විද්‍යාවෙන් විවිධ පරීක්‍ෂණ කර සොයා ගන්නා කරුණුත් අතර ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවතිනවා. එපමණක් නොවෙයි මෙම බෞද්ධ විශ්ව විද්‍යාවෙහි ඇතුළත් සමහර කරුණු තවමත් නවීන විද්‍යාවෙන් පවා සොයා ගෙන නොමැති බැව් විශේෂයෙන් සඳහන් කළ යුතු යි. එදත් අදත් අපේ ජනතාව අතර හිරු, සඳු, පොළව ආදිය පිළිබඳවත් සෞර්යග්‍රහ පද්ධතිය පිළිබඳවත් බැලුවේ මහත් කුතුහලයකින් යුතුවයි. අප ජීවත්වෙන පෘථිවිය තියෙන්නේ කොහේද?, රාත්‍රියේ දකින අහස තරු සහිත විශ්වය අනන්තද නැද්ද, පරිමිතද, අපරිමිතද, විශ්වයට කෙළවරක් තිබේද, මිනිසා බිහිවූයේ කෙසේද, මේ විශ්වයේ සිටින දියුණු ජීවීන් අප පමණ ද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට සැමදාම ඔවුන් උත්සුක වුණා.

මේ ප්‍රශ්න බුද්ධ කාලයේ දී ද පැවතියා. චුල්ල මාලුංක්‍ය පුත්‍ර සූත්‍රයට අනුව මාලුක්‍ය පුත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්න විමසීමෙන් ම ඒ බව මනාව පෙනී යනවා. මෙයට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුර වූයේ බඹයක් පමණ වූ ශරීරය පිළිබඳව බැලීමෙන් මේවාට විසඳුම් සොයා ගත හැකි බවයි. එනම් විදර්ශනා භාවනා කළ යුතුය යන්නයි. ඒවගේම සප්ත සූරියෝද්ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, ප්‍රථම කෝසල සූත්‍රය, දක්‍ෂිණ විභංග සූත්‍රය එම සූත්‍ර අතර ප්‍රධාන වෙනවා. මෙම සූත්‍ර දේශනා මගීන් විශ්වයේ ආරම්භය, ලෝකය බිහිවීම, ලෝක විනාශය, ජීවයේ සම්භවය හා ව්‍යාප්තිය පිළිබඳ විශාල කරුණු ප්‍රමාණයක් පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව අංගුත්ත නිකායේ භූමිචාල සූත්‍රයේ භූමිකම්පා පිළිබඳව විස්තර වී තිබෙනවා. මේ සූත්‍රවල සඳහන් බොහෝ කරුණු නවීන තාරකා විද්‍යාව මගින් තහවුරු කරන අතරම විශ්වය පිළිබඳ බුදුදහම මගින් විස්තර කරන තවත් සමහර කරුණු නවීන විද්‍යාව මගින් මෙතෙක් සොයා ගෙන නෑ.

මින් පෙනී යන්නේ බුදුදහමේ විශ්වය පිළිබඳව සඳහන් වන කරුණු තවමත් ඡ්දරු වියේ පසුවන නවීන විද්‍යාවේ එන විශ්වය පිළිබඳ කැරණු වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. බුදුදහම හැර විශ්වය පිළිබඳව විග්‍රහ කළ මෙවැනි වෙනත් ආගමක් නැහැ.

(4) ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දැකිය නොහැකි ද?

මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින් සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟ හැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒ තුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එම ජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන් පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතන ජීවයක් හටගන්නේ නෑ.

නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලා ආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාව ඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රස නිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේ අයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක් එම සූත්‍රයේ සඳහන් වෙනවා.

මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනා කරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළ කිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමික සුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොට මේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියන වචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනා කරලා තියෙනවා.

(5) ත්‍රිපිටකයට අයත් සූත්‍ර ධර්මයක, මහා මේඝ වර්ෂාවක් මගින් වා දූලි පටලයක් කැටිගැසීමෙන් සෞරග්‍රහ මණ්ඩලය ඇති වූ බැව් පෙන්වා දෙනවා. මේ පිළිබඳ ඔබ දරන මතය කුමක්ද?

තාරකා විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූයේ මීට වසර මිලියන 4500 කට පෙර. මුල් කාලයේ දී ඇති වූ සැම ග්‍රහ ලෝකයක් වටා ම දූලි වලා පටලයක් වැසී තිබුණා. දූලි වල්ගයක් ද ඒවාට තිබීම විශේෂත්වයක් වුණා.

මෙම දූලි වලිගය ඉන් වසර මිලියන කිහිපයකට පසුව සූර්යයාගේ ආලෝකයේ පීඩනය - හේතු කොට ගෙන ඉවත් වී ගොස් ඇති බව නවීන විද්‍යාව පෙන්වා දෙනවා. මින් හැඟෙන්නේ මුල් කාලයේ දී සඳ හිරු හෝ කිසිදු තරුවක් පෘථිවියේ සිට බැලූ විට නොපෙනුනු බවයි. මෙලොව සත්ත්වයාගේ හටගැනීම සඳහන් වන දීඝනිකායේ පටික වර්ගයේ අග්ගඤ්ඤ සූත්‍රය, සමස්ත විශ්ව ක්‍රියාවලිය පිළිබඳව සාරාංශයක් ලෙස ගත හැකියි.

පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳව බුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවල මෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක් තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත් එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවල ඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.

ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධි නව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව. එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.

(6) සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ විග්‍රහ වී ඇති දේ නවීන තාරකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇත්තේ කවර ආකාරයකටද?

හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේ සප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.

මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.

අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster) සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.

බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.

(7) මහා සිංහනාද සූත්‍රයේ දිව්‍යලෝක හයක් ඇති බැව් සඳහන්. මේ දිව්‍යලෝක අපේ සෞරග්‍රහ මණ්ඩලයට එහායින් ඇති ග්‍රහලෝක විය නොහැකිද?

බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.

මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.

(8) අන්තරීක්‍ෂ වර්ෂය හා කල්පය පිළිබඳ ඔබගේ විග්‍රහය කුමක්ද?, එසේම එහි සංඛ්‍යා විද්‍යාත්මක වටිනාකම කෙබඳුද?

බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.

මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.

පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.

මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර 3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.

මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අපේ අතීත මුතුන් මිත්තන් එදා කල්පය නම්කර ඇත්තේ යම් පදනමක පිහිටලා යන්නයි. එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.

අද නවීන විද්‍යාවේ විශාලතම ඉලක්කම ලෙස අප හඳුන්වන්නේ ඇව ගාඩ්රෝ සංඛ්‍යාවයි. එනම්, 6.02 x 10 23නමුත් තුන්තරා බෝධියකින් නිවන් මග පතන බෞද්ධයින් පාරමිතා 1000 ක් සම්පූර්ණ කිරීමට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු බව ධර්මයේ තිබෙනවා. ගණිත විද්‍යානුකූලව බලන විට මේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් යනු අවුරුදු 4x10140 x 3.07x10 8 x 10000 වැනි සංඛ්‍යාවක් පැරණි පොත් පත් වලට අනුව අසංඛ්‍ය යනු 10140 ප්‍රමාණය බව සඳහන්. අද තාරකා විද්‍යාවේදී හා භෞතික විද්‍යාවේ දී භාවිතා වන සංඛ්‍යා වලට වඩා එදා අපේ අතීත මුතුන් මිත්තන් ආගමික කටයුතු වලදී භාවිතා කළ එම සංඛ්‍යා ගණිතමය අගයෙන් ඉහළ මට්ටමක තිබූ බව මින් මනාව පැහැදිලි වෙනවා.

(9) නවීන තාරකා විද්‍යාව හා සැසඳීමේ දී බුදුදහම ඊට වඩා ඉදිරියෙන් සිටිනවා නේද?

ක්‍රි.පූ. 640 දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා. එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි පෘථිවිය කියලා.

බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී. මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්. බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.

කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ. එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව, සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින දියුණු ජීවීන් පිළිබඳව, කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.

උදාහරණයක් ලෙස කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.අපේ පුරාණ ලංකාවේ මිහිඳුමාහිමියන් වැඩවසන කාලයේ දේවානම්පියතිස්ස රජුගේ මහ ඇමැතිගේ විනෝදාංශය වූයේ තාරකා විද්‍යාවයි. බටහිර පොත් පත් වල සඳහන් නොවුනාට එදා සිටම තාරකා විද්‍යාව ලංකාව තුළ දියුණු වෙලා පැවතුණා. එයට පදනම බුදුදහමින් ලැබෙන්නට ඇති.

මේ සියලු කරුණු එක් රැස් කොට ගත්කල අපට කිවහැක්කේ පැහැදිලිවම බුදුදහම අද පවතින නවීන තාරකා විද්‍යාවට වඩා ඉදිරියෙන් සිටින බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිවනට පිටුවහලක් නොවන නිසා ලෝක විෂය, විශ්වය ගැන එතරම් ලොකු වැදගත් කමක්දී නෑ. එවැනි තත්ත්වයක තමයි බුදුදහම මෙතරම් ඉදිරියෙන් සිටින්නේ.


සංවාද සටහන චසිත බුලත්සිංහල


උපුටා ගැනීම - http://www.buddhistculture.net/buddhism-more-scientific-than-modern-science.html

අපගේ Facebook පිටුව සමග එකතු වන්න -  https://www.facebook.com/adaharaya.lk
Related Posts Plugin for WordPress, Blogger...