Blogger Widgets

Saturday, June 29, 2013

පුංචි මිනිසුන්ගේ විදුලි බිල අඩකින් අඩුකරන උපකරණයක්‌ තැණු අපේ කාලයේ ඉංජිනේරුවා

මහා ආශ්වාදයකින් හිත් පිරී ගොස්‌ තිබුණේය. ජීවත්වන බවත් අමතක කරවන ලද මිනිසුන් සහිත වටපිටාවක මෙවැනි පිරී ගිය මොහොතක්‌ හමුවන්නේ විරලවය. ඒ විරල චමත්කාරය සිත් පුරා විඳිමින් උන්නෙමු.

අප බොහෝ දෙනකුට බලාපොරොත්තු සමග උපදින සුවපත් හැඟීම් මතකයට නගාගත නොහැකි තරමටම අමතකය. එපමණටම ආගන්තුකය. එහෙත් අමතකව ගිය මියුරු හැඟීම් පණ ගසා මතුවන විට ජීවත් වන බව දැනෙන්නේය. එවන් මොහොතක අපට අප යළිත් ජීවත් වන බව දැනෙන්නේය. ගතවෙමින් තිබුණේ එවන් මියුරු මොහොතකි.

මා අභියස ඉන්නේ ලෝකය දිනාගෙන එල්ලක්‌කල වලලියෑද්ද ගමට අරගෙන ආ ආදරණීය තරුණයාය. මේ රට තමා වෙනුවෙන් දැරූ පිරිවැයට ණය ගෙවීමට ලෝකයේ මහා ආශ්චර්යයන් ඉවත දමා ගමට පැමිණි කළගුණ දත් ගෞරවනීය මනුෂ්‍යයාය. ලෝක සම්භාවනාවට ලක්‌ වූ මේ තරුණ ඉංජිනේරුවා එල්ලක්‌කල ගමට පැමිණ සිටින්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිස්‌සුන් වෙනුවෙන් තමන් කළ නිර්මාණයක්‌ ද රැගෙනය. ඒකක 150 දක්‌වා විදුලි පරිභෝජනයක යෙදෙන සියයට අනූවකට ආසන්න මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ විදුලි බිල සියයට තිහේ සිට පනහ දක්‌වා අඩු කරගත හැකි නිමැවුමක්‌ රැගෙනය. එම නිර්මාණයට විවිධ වෙළඳ සමාගම් කාරයින් විසින් දැවැන්ත ලංසු ඉදිරිපත් කරද්දී ඉන් උපදවා ගත හැකි මහා ලාභය ගැන නොතකා දුප්පත් මිනිසෙකුට දැරිය හැකි මිලකට මෙම නිමැවුම සමාජගත කරන ආකාරය ගැන සැලසුමක්‌ රැගෙනය. ඔහු කමල් එදිරිසිංහය.

Tuesday, June 25, 2013

අපූරු ගණිත පාඩමක්!

වෛද්‍ය ලලිත් විජේසිංහ
සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි
මහරෝහල - මහනුවර

ගණිත පාඩමෙන්, දැනුමෙන් මිදී නිවනට ළං වන යෝජනාවකි.

පූජ්‍ය කටුගස්තොට සනාථවිහාරී ස්වාමීන් වහන්සේ වරෙක පැනයක් ඉදිරිපත් කළහ. ඒ, විවිධ රැකියාවල නියුතු වැඩිහිටියන් පිරිසක් හා පාසල් සිසුන් කිහිප දෙනකු සමඟ අප පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල ඉගැනුම ලබමින් සිටි සිසුන් කිහිප දෙනකු ද සහභාගි වූ, මහනුවර, බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයෙහි පැවැති සාකච්ඡාවකදී ය.

“අට දෙකට බෙදූ විට පිළිතුර කුමක් ද?” යනු එම පැනය යි.

එය ඉතා සරල, පහසු පැනයක් වූ බැවින් සහ එයට නිශ්චිත පිළිතුර අප සැම දැන සිටි හෙයින් එසැණින් එකිනෙකා විසින් පිළිතුරු ලබා දෙන ලදි.

විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනාගේ සහ පාසල් සිසුන් බහුතරයකගේ පිළිතුර ‘4’ විය. පාසල් සිසුවකුගේ පිළිතුර වූයේ 0 හෝ 4 බව යි. එක් වැඩිහිටි අයෙක් පිළිතුර 4, 0 හෝ 2 විය හැකි බව කී ය.

Sunday, June 23, 2013

මොළය සහ මනස එකක්‌ ද? බුදුදහමට අනුව විග්‍රහයක්‌..

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්

මොළය සහ මනස දෙකක්‌ නොව එකක්‌ ලෙස දැක්‌වීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන කාලෝ ෆොන්සේකා මහතා 'ඉර හඳ යට මේ ලෝකයේ තිබෙන පරම අභිරහස නැතහොත් බුද්ධිමය ආශ්චර්ය වනුයේ සත්‍ය ලෙසම අපේ ඉස්‌කබල තුළ තිබෙන දුහුවිල්ලෙන් (පදාර්ථයෙන්) සැදී මිනිස්‌ මොළයයි' යනුවෙන් සඳහන් කරයි. මෙහි දුහුවිල්ලෙන් සැදුණා යෑයි සඳහන් කිරීම දෙවියන් වහන්සේ දුහුවිල්ලෙන් මිනිසා මැව්වාය යන කියමන හා සමාන වෙයි. ඒ අනුව අවසාන වශයෙන් දෙවියන් වහන්සේගේ මැවීමද ඔවුහු පිළිගනිති. තවදුරටත් කරුණු දක්‌වන කාලෝ ෆොන්සේකා 'බටහිර විද්‍යාවේ පියා ලෙස සලකනු ලබන හිපොක්‍රටීස්‌ විසින් අවුරුදු 2500 කට පෙර පැවැසුවේ මිනිස්‌ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නම් පළමුවෙන්ම මිනිස්‌ මොළය පිළිබඳ හැදෑරිය යුතු බවයි.' මෙහිදී හිපොක්‍රොටිස්‌ පවසන්නේ මනස හා මොළය එකක්‌ ලෙස නොවේ. මොළය පිළිබඳ හැදැරීමෙන් මනස හෝ මනසේ හාස්‌කම් අවබෝධ කර ගැනීමට නොහැකි බව ඔහු නොදැන සිටියා වන්නට ඇත. එහෙත් බටහිර විද්‍යාවේ පියා මොළය හා මනස එකක්‌ ලෙස පිළිගෙන නැති බව උධෘතයෙන් පැහැදිලි වෙයි.

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ සෘද්ධියෙන් ද? ගොඩබිම් මාර්ගයෙන් ද?

රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
කථිකාචාර්ය, රාජකීය පණ්‌ඩිත, දර්ශනපති
බළපිටියේ සිරිසීවලී හිමි

මිහිඳු මාහිමියන් ලක්‌දිවට වැඩම කළේ අවන්ති රට වේදිස නගරයේ සිටය. උඡ්ජයිනියට නැගෙනහිරින් පිහිටා තිබූ වේදිස නගරය වර්තමානයෙහි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෙසෙන් දිස්‌ත්‍රික්‌කයේ බිල්සා නගරය (බේස්‌ නගර්) ලෙස හඳුනාගෙන තිබේ. බෙත්වා හා බේස්‌ යන ගංගා දෙක එක්‌වන ස්‌ථානයේ පිහිටි මෙම භූමිය අද හින්දූන්ගේ පුණ්‍ය තීර්ථයකි. එහෙයින් ලක්‌දිව බුද්ධාගමෙහි මාතෘ භූමිය අවන්තියේ වේදිස නුවර යෑයි කිවහොත් එහි කිසිදු වරදක්‌ නො මැත.

පාටලීපුත්‍ර නගරයෙන් පිටත් වූ මිහිඳු මාහිමියන් හය මසක්‌ තිස්‌සේ දක්‍ෂිණගිරියෙහි සැරිසරමින් ඥතීන්ට අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කළ බව සඳහන් වේ. එතනින් වේදිස නුරවට වැඩමවා මව්තුමියට දහම් දෙසා ඇය සෝවාන් ඵලයෙහි පිහිටුවනු ලැබූ බවත්, වේදිසගිරි විහාරයෙහි මාසයක පමණ කාලයක්‌ වැඩසිටි බවත් සඳහන් ය. උන්වහන්සේ ලක්‌දිවට වැඩම කළේ අශෝක රජුගේ රාජ්‍ය වර්ෂයෙන් 18 වැන්නෙහිය යෑයි බොහෝ වංසකථාවල සඳහන් වෙතත්, බෝධිවංශයෙහි දැක්‌වෙන්නේ අභිෂේකයෙන් හත් මසකින් එය සිදු වූ බවයි. මෙම ගමන බු. ව. 236 වැන්නෙහි එනම් ලක්‌දිව තිස්‌ස රජු අභිෂේකය ලබා තුන් මසකට පසු සිදුවූ බව දීපවංසයෙහි සඳහන් ය. ලක්‌දිව රජ කළ මුටසිව රජු මහලු බැවින් තිස්‌සයන් රජ වන තුරු මෙසේ හත් මසක්‌ කල්යල් බලා ඇති බව විද්වතුන්ගේ පිළිගැනීමයි.

Friday, June 21, 2013

මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි අවලෝකනය

මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි හෙවත් රටම හඳුනන මඩිහේ නායක හාමුදුරුවන් වහන්සේගේ 100 වැනි ජන්ම දිනය වර්ෂ 2013 ජුනි මස 21 දාට සැපිරෙයි. උන්වහන්සේ මාතර මඩිහේ ගමෙහි පස්‌ දෙනෙකුගෙන් යුතු ගරු කටයුතු පවුලේ බාලයා ලෙස ටෙනිසන් විල්මට්‌ පූජිත ගුණවර්ධන නමින් වර්ෂ 1913 ජුනි 21 දා උපත ලැබීය. පසුව ධර්මයට නැඹුරු වූ මේ දරුවා වර්ෂ 1926 ජුනි 24 දා පැවිද්ද ලබා ගත්තේය. ඒ මඩිහේ ප්‍රඤ්ඤාසීහ ලෙස කඹුරුගමුවේ දේවගිරි විහාරයේදීය. 

උන්වහන්සේගේ ගුරු නාහිමියන්ගේ මඟ පෙන්වීම යටතේ පසුව කොළඹ වජිරාරාමයේ පැළෑනේ වජිරඥාණ නායක හිමියන්ගේ මඟ පෙන්වීම හා අනුශාසනා යටතේ අධ්‍යාපනයද භික්‍ෂු විනයට අනුව දිවිපුහුණුවද ලැබුහ. දේශීය මෙන්ම විදේශීය ධර්මදූත මෙහෙවර ද කළහ. පැළෑනේ නායක හිමියන් 1955 සැප්තැම්බර් 21 දා අපවත් වූ අතර ඒ හිමියන් ඇවෑමෙන් ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ නායක පදවියට පත්වූයේ එවකට හතළිස්‌ දෙහැවිරිදි වූ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ය. එය ඒ හිමියන්ගේ අතිමහත් ශාසනික සේවයට පිටුවහලක්‌ විය. 1956 දී ඇති වූ බෞද්ධ ප්‍රබෝධය සමඟ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්ගේ මූලිකත්වයෙන් විසිරී තිබූ අමරපුර නිකායන් එක්‌සේසත් කර අමරපුර මහාසංඝ සභාව පිහිටුවනු ලැබූ අතර 1985 දී සමස්‌ත අමරපුර මහා සංඝ සභාවේ සියලු නිකායන්ගේ මහානායක ධුරයට ද පත් වූහ. උන්වහන්සේ අපවත් වන තෙක්‌ම ඒ ධුරය බබළවමින් එහි වැඩ සිටියහ.

Thursday, June 20, 2013

කර්ම විපාක පලදෙන හැටි

දිට්ඨධම්ම වේදනීය, උප්පජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය, අහෝසිකම්ම යැයි විපාක දීමේ කාල වශයෙන් කර්මය සිව් වැදෑරුම්ය. කර්මයක් සිදුකිරීමේ දී චිත්තවීථියක් පහළ වේ.

එසේ පහළ වන චිත්තවීථියෙහි ඇතිවන සිත් පෙළ භවංග, භවංග චලන, භවංගුපච්ඡේද හා ඊළඟට පංචද්වාරික චිත්ත වීථින්හි දී පංචද්වාරාවජ්ජන, චක්ඛුවිඤ්ඤාණ, සොත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණ යන සිතක් ද, මනෝද්වාරික චිත්තවිථීන්හි දී මනෝද්වාරාවජ්ජන යන සිත ද පහළ ව ඒ ඒ අරමුණු අනුව චක්ඛු විඤ්ඤාණ සිත් පහළව සම්පටිඡන්න සන්තීරණාදී වොත්තපණ යැයි සිත් පහළ ව මීළඟට ජවන නාමයෙන් සිත් හතක් වේගයෙන් පිළිවෙළට ඉපිද ඊළඟට එම ගත් අරමුණෙහි ම එල්බ තදාලම්බණ ඉපිද නිරුද්ධ වේ.

මෙහි ජවන සිත් හැර අනෙකුත් සිත් විපාක හා ක්‍රියා බවට පත් වේ. ජවනයන් පමණක් කර්ම බවට පත් වේ. එසේ වන්නේ ලෝභාදිය හෝ ශ්‍රද්ධාදි සිතිවිල්ලක් ජවන වශයෙන් උපදින බැවිනි.

Tuesday, June 18, 2013

පොම්පෙයි නෂ්ටාවශේෂ ළඟ ඔබේ කඳුළ ද තබන්න

එක්දහස් නවසිය හැට ගණන්වල හොලිවුඩ් චිත්‍රපට සමාගමක් විසින් නිෂ්පාදනය කළ “The last days of pompai” නම් චිත්‍රපටය ඔබට නරඹන්නට ලැබුණා නම්...

එඩ්වඩ් මුල්වර් ලීටන් නම් ලේඛකයා, ඉතාලියේ නාපෝලි ප්‍රාන්තයේ පිහිටි පොම්පේයි නගරයේ සිදුවුණ අති දැවැන්ත ඛේදවාචකය මුල් කරගෙන ලියූ නවකතාව ඔබට කියවන්නට ලැබුණා නම්...

නොඑසේම, ඒ නවකතාව ආශ්‍රයෙන් 1970 දී අධ්‍යාපන ඇමැතිවරයෙක්ව සිටි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතා විසින් සිංහලට පරිවර්තනය කළ “දේවශාපය” නම් කෘතිය ඔබට කියවන්නට ලැබුණා නම්...

ඉතාලියේ පොම්පේයි නගරයේ සිදුවූ මෙම මහා විපත පිළිබඳ ඔබ අදටත් කඳුළු සලනු ඇත.

අර්ථයක් නැති ජීවිත පිළිබඳ අප කම්පාවට පත් වෙද්දී, ජීවිතයේ අවසාන අර්ථය මේ යැයි ලොවට පෙන්වා දුන් ඒ මහා ඛේදවාචකයේ ඉතිරිව තිබෙන නටබුන් ඉතාලියේ සංචාරයකට යන ඔබට අදත් දැකගත හැකිවනු ඇත.

පොම්පේයි නගරය පුරාම ඇත්තේ මේ විපතේදී විසූවියස් කන්දේ ලාවාවලින් මියැදුණු මිනිසුන්ගේ ශෝකාලාපයයි. ඔවුන්ගේ නිහඬ කඳුළයි.

Sunday, June 16, 2013

‘‘ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්”

‘‘ලෝකයා දන්නෙ නැතිවට මම මේ වෙනකොට විශේෂිත පුද්ගලයෙක්”
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් පිළිබඳ තොරතු බිඳක් ...

(බොහෝ පිනැතියන්ගේ හිත සුව පිනිස 2012 අගෝස්තු මස 26 ලංකාදීප පුවත් පතින් උපුටා ගන්නා ලදී.)

පසුගිය සියවසේ ලියැවුණු ගැඹුරු දහම් පොත්වලින් බොහොමයක්ම රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ බව ගිහිපැවිදි දෙපක්ෂයම හොඳින් දනී. උන්වහන්සේ ලියූ බෞද්ධ පොත් විනය ග‍්‍රන්ථ, අභිධර්ම ග‍්‍රන්ථ, භාවනා ග‍්‍රන්ථ, ධර්ම ග‍්‍රන්ථ ආදී වශයෙන් වර්ග කොට දැක්වීමට පුළුවන. ඒ ඒ විෂයනට අදාළව පරතෙරට ගිය අපූරු ධර්මධරත්වයක් උන්වහන්සේට තිබුණි. එසේම ගුණ බර වූ විනය ධරත්වයක් ස්වභාවයෙන්ම රේරුකානේ නායක හාමුදුරුවන් ගෙඩනගා ගෙන තිබිණි. ඒ ධර්මධරත්වය හා විනයධරත්වය මගින් උන්වහන්සේ අපේක්ෂිත අරමුණක් උදෙසා ගමන් කළ බවටද සාක්ෂි සාධක තිබේ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් කෙරේ දැක්වූයේ අපමණ ගෞරව භක්තියකි.


"රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත්ටික හොඳින් කියෙවුවොත් එ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක්. ධර්මඥයෙක් වෙනවා” යි. දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියෝ උත්සව සභාවකදී වදාළහ. ඒ ප‍්‍රකාශයෙන් එහාට රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ධර්මධරත්වය ගැන තවදුරටත් පුන පුනා ප‍්‍රකාශ කිරීම අවශ්‍ය නැත. තමන් වහන්සේ තුළ වූ ධර්මධරත්වයෙන් හා විනය ධරත්වයෙන් උතුම් බුද්ධ පුත‍්‍රයකු හැටියට කිසියම් අපේක්ෂිත අරමුණක් සාක්ෂාත් කරගත් බව රේරුකානේ නායක හාමුදුරුවන්ගේ මහ සඟ චරිතය පිළිබඳ සොයා බලන කළ හොඳින්ම පෙනේ.


ලිංගිකත්වය පිළිබඳ ව බුදුසමයෙන්...

පශ්චාත්නූතනවාදය සහ බුදුසමය ලිංගිකත්වය පිළිබඳ ව දරන මත සැසඳීමකි මේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය
රළුවේ පද්මසිරි හිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනය

සමාජයක සදාචාරය, ඇගැයුම් බොහෝ විට නිර්මාණය වන්නේත් සමාජය තුළ සුරක්ෂිත ආකාරයකින් ක්‍රියාත්මක වන්නේත් ඒවා ක්‍රියාත්මක වන සමාජ - සංස්කෘතික පදනමේ ඇති නව ප්‍රවණතා සමඟ පරිවර්තනවලට, වෙනස්කම්වලට ලක් වෙමිනි. එසේ වෙනස් නොවනසුලු, විශ්වීය අගයකින් යුත් සදාචාරාත්මක ඇගැයුම් පද්ධතියක් සකස් කිරීම කළ යුතු වන්නේ නම් එසේ කළ හැකි වන්නේ පළමු ව එවැනි ආචාරධර්මවල පදනම නිවැරැදි ව සකස් කිරීමෙන් බව බෞද්ධ විද්වතුන්ගේ අදහස යි. ලිංගික සම්බන්ධතා අහම්බයක් හෝ සමාජයක අනවශ්‍ය දෙයක් බව බුදුසමය නොපිළිගනී.

දෙවියන් පිනවීමට ලිංගික කාර්යයේ නිරත විය යුතු බවටත් ආත්මීය තෘප්තිය එමගින් ලබාගත හොත් පාපයට (Sin) හිමිකරුවකු බවට පත් වන බවටත් ඇති මධ්‍යතන යුරෝකිතු අදහස සමඟ බුදුසමයේ සබඳතාවක් නැත. ලිංගිකත්වයේ සීමා, නිර්ණායක හා පැනවීම් ඒ ඒ කාල-අවකාශ සීමා තුළ වෙනස් වේ නම් එය සමාජයීය පරිහානියක් ලෙසින් ම හඳුනාගත යුතු නැත. බුදුසමය එවැනි නව ප්‍රවණතා එකහෙළා ප්‍රතික්‍ෂේප නොකරන බව ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් විෂයයෙහි අවධානය යොමු කිරීමෙන් වටහාගත හැකි ය. එහෙත් මිනිසුන් ‘ශිෂ්ට’ (Civilzed) ‘සංස්කෘතික’ (Culturized) වීමත් සමඟ ලජ්ජාව හා භය සමාජයීය සාරධර්ම බවට පත් වෙයි. එවිට ලිංගික කාර්යය එයට සම්බන්ධ වන පුද්ගලයන් පමණක් දත යුතු යැ යි සමාජය උපකල්පනය කරයි. අප පෙර සඳහන් කළ අග්ගඤ්ඤ සූත්‍රයේදී ලිංගික චර්යාව ‘අසද්ධම්ම’ හෙවත් ‘ධර්මය නොවන’ ලෙස දක්වන්නේ එතෙක් පැවති සම්මතය තුළ එම ක්‍රියාවට හිමි වූ තැන පැහැදිලි කිරීමට යි.

Saturday, June 15, 2013

විශිෂ්ට ශ්‍රී ලාංකික පුත්‍රයකු වූ ආචාර්ය රේ. විජයවර්ධන

විද්‍යාජෝති ආචාර්ය රේවත විජයවර්ධනයන් පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකිකයන් බොහොමයකි. ඊට හේතුව ඔහු පෞද්ගලික ප්‍රසිද්ධිය පිළිබඳව උනන්දු නොවූ බැවිනි.එහෙත් දියුණුව ප්‍රාර්ථනා කරන අයට ඔහු පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වන්නේය. වඩාත් වැදගත් වනුයේ ඔහුගේ දැනුම සහ විද්‍යාවට සිදු කරන ලද මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ “රේ” නමිනි. ආචාර්ය රේ. ගේ පියා ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ වැඩිමහල් සොහොයුරු වෛද්‍ය ඩී. විජයවර්ධන මහතායි. ආචාර්ය රේ. ගේ අධ්‍යාපනය සහ රැකියාවට මුල් පසුබිම සලසනු ලැබූයේ පියා විසිනි. මව ඉංගිරිසි ජාතික කාන්තාවකි.

ඇය ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ආචාර්ය රේ. ගේ විනය හා කාර්යක්ෂම බවට මවගේ බලපෑම බෙහෙවින්ම විය. ඇය එවකට බෝපිටිය සහ ගිරිඋල්ල අතර, අසුපිටින් ගමන් ගනිමින් ගම්වාසීන්ට නොමිලයේ ප්‍රතිකාර කළාය.

ආචාර්ය රේ. විජයවර්ධන, වරෙක මොරටුව සරසවියේ කුලපතිවරයා වූ අතර තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා ද විය. පොල් පර්යේෂණ ආයතනයේ වසර 50ට වඩා පර්යේෂණ කටයුතු සංවර්ධනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ ඔහු සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ජාතික විද්‍යා සභාව, ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය ඔහුගේ සේවය ලැබූ ආයතන කිහිපයකි.

1915 සිංහල - මුස්ලිම් කෝලාහලය පිළිබද දුර්මත සහ සත්‍ය

1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක්‌ එවක නොවූ බවට එය ප්‍රබල සාක්‍ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක්‌ ගතවූ තැන 1915 දී සුළු ජන කණ්‌ඩායමක්‌ විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්‍රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ.

ඉංග්‍රීසි යටත් විජිත ආණ්‌ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්‌ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක්‌ නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක්‌ ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළවන ඇතැම් ලිපි ලේඛන වලින් පෙනෙන්නට තිබේ.

Friday, June 14, 2013

බ්‍රයිඩේ මර්ෆිගේ අන්තරාභව තොරතුරු අග්ගඤ්ඤ, තිරෝකුඩ්ඨ සූත්‍රවල ඇතැම් කරුණුවලට සමානයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

බ්‍රයිඩේ මර්ෆි හෙළිකරන සියලු දේ අපට එකහෙළා පිළිගත නොහැකි වුව ද ඇතැම් කරුණු තිරෝකුඩ්ඨ, අග්ගඤ්ඤ ආදි බෞද්ධ සූත්‍රයන්ගෙන් හෙළි කරන ඇතැම් කරුණු සමඟ සමානත්වයක් දක්වන බව පැහැදිලි වෙයි

බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභවය පර්යේෂණ වාර්තාවෙහි ඇතුළත් මරණින් මතු ජීවිතය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් අපි පසුගිය සාකච්ඡාවේ දී අනාවරණය කළෙමු. 

එහි එන බොහෝ කරුණු තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් මරණින් මතු පැවැත්ම පිළිබඳ කරුණු සමඟ බොහෝ සෙයින් සමානත්වයක් දක්වයි.එහි එන තවත් සමානත්ව කරුණු කිහිපයක් පිළිබඳ අපි තවදුරටත් සාකච්ඡා කරමු.

ප්‍රශ්නය – ඒ ලෝකේ ගඳ දැනීම ස්පර්ශය දැනීම ශබ්ද ඇසීම රූප ඇසීම ආදිය තියෙනව ද? ඒ ලෝකේ මේ ඉන්ද්‍රිය සියල්ල ම තියෙනවා ද? ඒ ඇස්ට්‍රල් ලෝකයේ වස්තු ස්පර්ශ කරන්න පුළුවන්ද?

පිළිතුර – බෑ

ප්‍රශ්නය – ගඳ සුවඳ දැනෙනවාද?

පිළිතුර – නෑ. නමුත් පේනවා.

ප්‍රශ්නය - ස්පර්ශ කරන්න පුළුවන්ද?

පිළිතුර – ඇහෙනවා

ප්‍රශ්නය – ඔබ කිව්ව ඒ ඇස්ට්‍රල් ලෝකයේ හැමවිටම කිසියම් ආලෝකයක් ඇති බව. ඒ වගේම බ්‍රියන්ට දිවා රාත්‍රි තිබුණ බව දැනගන්නට පුළුවන් වුණා කියලත් කිව්ව එහෙම ද? (බ්‍රියන් යනු බ්‍රයිඩේ මර්ෆිගේ ස්වාමියාය. ඇය මිය යෑමෙන් පසු ඔහු කළ කී දේ ගැන බොහෝ කාලයක් අවධානයෙන් සිට ඇත.)

බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභව තොරතුරු

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය,
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි

ප්‍රශ්නය- බ්‍රයිඩේ මර්ෆිගේ ස්වයං කථිත අන්තරාභව තොරතුරු ථෙරවාදී අදහස් සමඟ ගැළපේද?

‘බ්‍රයිඩේ මර්ෆිගේ’ ස්වයං කථිත අන්තරාභවය පර්යේෂණ වාර්තාවකි. මෙම පර්යේෂණය සිදුකරනු ලැබුවේ ඇමරිකන් ජාතික මෝරි බෙර්න්ස්ටයින් නම් සුප්‍රකට පර්යේෂකයා විසිනි. මුලදී උග්‍ර භෞතික වාදියෙකු වූ මොහු මෝහනය හා පුනරුප්පත්ති පර්යේෂණ සඳහා යොමු වී ඇත්තේ අහම්බෙනි. කෙසේ හෝ පසුව මේ පිළිබඳ ඔහුගේ වැඩි කැමැත්තක් ඇති වී ඇති අතර විවිධ පුද්ගලයන් මෝහනයට පත් කරමින් පුනරුප්පත්තිය පිළිබඳ විශාල පර්යේෂණ සංඛ්‍යාවක් ඔහු විසින් සිදුකරනු ලැබ ඇත. මෙම පර්යේෂණ නිසා භෞතිකවාදය මත පදනම් වූ දේවවාදි ආගම් වලින් ඔහු සහ ඔහුගේ පර්යේෂණ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කර ඇත.

ඔහුගේ මෙම පර්යේෂණ අතර වඩාත් ජනපි‍්‍රයත්වයට මෙන්ම මතවාද වලටද තුඩුදුන් පර්යේෂණය වූයේ ‘බ්‍රයිඩේ මර්ෆි’ පිළිබඳ පර්යේෂණය යි. මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ 1952 වර්ෂයේදී ය.මෙසේ මෝරි බෙර්නස්ටයින් විසින් මෝහනයට පත්කරන ලද විස්තර ලබාගෙන ඇත්තේ රූත් මිල්ස් සිමන්ස් නම් ලේඛිකාව මගිනි.ඇගේ පෙර ආත්මයේ නම බ්‍රයිඩේ මර්ෆි ය.ඇය අයර්ලන්තයේ උපත ලැබූ තැනැත්තියකි. මෙම පරියේෂණයේ දී ඇය හෙළිකරන තොරතුරු බ්‍රයිඩේ මර්ෆි ලෙස ඇය අයර්ලන්තයේ උපත ලබා ගත කළ ජීවිතයේ තොරතුරු ය.

Related Posts Plugin for WordPress, Blogger...