Blogger Widgets

Saturday, July 27, 2013

8 වන වරටත් පවත් වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සෝමවතී රජමහා විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය
ලේඛකාධිකාරී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  විශ්‍රාමික කථිකාචාර්ය හා
වැඩබැලූ අංශාධිපති
පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි
 
සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී දකුණු දළදා පෙරහර 8 වන වරටත් මෙම ඇසළ පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රි 8.00 ට පමණ පැවැත්වේ.

ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතුන් වහන්සේත්, දේවාභරණත් සමඟ සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍යරාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට ‘යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය’ යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ ‘ගාමිණී අභය යුදජි රජ අඩියගම මණි අගිය විහරට දිනි’ (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට ‘ගාමිණි අභය යුදජි’ (යුද්ධ ජයග්‍රාහක ගාමිණි අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් සාදවා එම ඇළෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

සිංහල රාජධානිය කඩාවැටුණු බලවේගය

ඉතිහාසයෙන් ඉගෙනගත යුතු පාඩම් අදටත් වලංගුය. මීට වසර 194 කට පෙර බ්‍රිතාන්‍යයන් සමග අත්සන් කළ උඩරට ගිවිසුම නිසා වසර 2500 කට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ අවිච්ඡින්නව පැවත ආ රාජ්‍යයක කඩාවැටීමත් නිදහස අහිමිවීමත් සිදුවිය. මෙම ලිපිය 1815 මාර්තු 15 දින සිදුවු එම ඓතිහාසික ඛේදවාචකයට වසර 194 ක් පිරීම නිමිත්තෙන් එම අවධියේ මේ රටේ දේශපාලන පසුබිමේ ක්‍රියාකාරී වු විදේශ බලවේගය පිළිබඳ සමකාලීන මුලාශ්‍ර ඇසුරින් ලියන ලද සටහනකි.

1815 මාර්තු 15 දින උඩරට ගිවිසුමට අත්සන් කිරීමට මාසයකුත් දින දෙකකට පෙර, එනම් 1815 පෙබරවාරි 17 දින උඩරට රාජධානිය පාලනය කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බ්‍රිතාන්‍යයන් අත සිරකරුවකු බවට පත්වී හමාරය. මේ සිද්ධිය එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා වු රොබටි බ්‍රවුන්රිග්ට ආරංචි වු පසු ඒ පිළිබඳ ඔහු ප්‍රීතිය පළ කළ අවස්ථාවේ වාර්තාගත සටහන් කිහිපයක් මතු දැක්වේ. "ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගන්නා ලදී" යන පණිවුඩය කන වැටෙන විටම, ආහාර ගනිමින් සිටි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා තම කෑම පිඟාන තල්ලුකර දමා නැගී සිට දෙනතින් කඳුලු වගුරුවමින් එහි සිටි සියලු දෙනාටම අතට අත දෙමින් මෙසේ කීවේය. "යුරෝපීය තුන් වර්ගයක් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොටත් සාර්ථක කරගත නොහැකි වු කාර්යයක් අද අප විසින් සාර්ථකව ඉටුකර ගන්නා ලදී. ඊට ආධාර කළ ඔබ සැම දෙනාටම මගේ අවංක ස්තුතිය පුද කරමි. ආණ්ඩුකාරවරයා මේ වැගිර වු කඳුළු අවුරුදු දෙදහස් පනස් අටක් මුළුල්ලේ පැවත ආ සිංහල ජාතියේ නිදහස නැතිවීම ගැන හෝ රජු අසුවීම ගැන හෝ කනගාටුවෙන් හෙළු කඳුළු නොවේ. ඒ වනාහි බ්‍රිතාන්‍ය ජාතියට ලංකාව යටත්කර ගැනීමේ වරප්‍රසාද හිමිකර දීම ගැන දෙවියන්ට ස්තුති කරන කඳුළුය.



Friday, July 26, 2013

ඔබ කිනම් වර්ගයේ මනුෂ්‍යයෙක්‌ද?

මුලු ලෝකයේම සිටින සියලුම මනුෂ්‍යයන් පෙරදිග හා බටහිර යන ගෝලීය ලක්‌ෂණ අනුවත් ශ්‍රී ලාංකික, ඉන්දීය, බ්‍රිතාන්‍ය, ඇමෙරිකා, අප්‍රිකා, අරාබි යනාදී ඒ ඒ රටවාසීන් වශයෙනුත් රටවල් අභ්‍යන්තරයේ වෙසෙන මනුෂ්‍යයන්, ජාති, ආගම්, කුල, ගෝත්‍ර අනුවත් සිය ගණනින් ප්‍රභේදවලට වර්ගීකරණය වී ඇතත් මේ සියලුම දෙනාට පොදුවූ ගති ගුණ හා සිතුම් පැතුම් ඇත.

ජාති, කුල, ගෝත්‍ර අනුව මිනිසා උසස්‌ හා පහත් ලෙස වර්ගීකරණය කිරීමට සුදුසු නොවන බව බුදුරජාණන් වහන්සේ නොයෙක්‌ අවස්‌ථාවලදී දේශනාකොට ඇත. උපතින් යමෙකු බ්‍රාහ්මණ යකු හෝ වසලයකු නොවන බවත් ක්‍රියාවන්ට අනුව ඔහුගේ උසස්‌කම හෝ පහත්කම ඇතිවන බව විස්‌තරාත්මකව දේශනාකොට ඇති සූත්‍රයකි වසල සූත්‍රය.

පෙළ දහමට අනුව මනුස්‌ස උස්‌සන්නතා මනුස්‌සා යනුවෙන් උසස්‌ තත්ත්වයන්ට පත් කළ හැකි මනසක්‌ ඇති සත්වයා මනුෂ්‍යයා වන බවත් මිනිසුන් අතර පවතින මානසික ගති නිමිති අනුව සංසාර ප්‍රවාහයට අසුව සිටීම හෝ ඉන් නිදහස්‌ වී විමුක්‌ති සුවයට පත්වන බැව් ඉගැන්වේ.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන ත්‍රෙලෝකයන් තුළ වෙසෙන සත්ත්වයන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා වන ත්‍රෙලෝකානාථ වූ බුද්ධත්වයට පත්වනුයේද උසස්‌ම තත්ත්වයට පිරිසිදු කළාවූද දියුණු කළාවූද මිනිස්‌ සිතක්‌මය. එසේම අවීචි ආදී මහා නරකයන්ට පතිත වන්නේද අතිශය කිලිටිකර ගත් අපිරිසිදු සිත් ඇත්තෝමය.

මිනිසුන් තුළින් විද්‍යමාන වන ගති ලක්‌ෂණ අනුව බුදුරජාණන් වහන්සේ මුලු මානව සංහතියම වර්ගීකරණය කර ඇති අතර මෙම බෙදීම විශ්ව ගුණෝපේත සර්වකාලීන ලක්‌ෂණ අනුව කර ඇතිනිසා එය සෑම රටකම, සෑම ජාතියකම, සෑම ආගමකටම පොදු පංච ගති ලක්‌ෂණ වේ.

Monday, July 22, 2013

මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් හා ත්‍රස්තවාදීන්

මේ මිහිතලය තුළ ත්‍රස්තවාදීන් කියා කට්ටියක් දකින්න නැහැ. ඔවුන් ත්‍රස්තවාදී කටයුතු කළ මිනිස්සු. ඒ නිසා ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්න බැහැ. එය ඔවුන්ගේ අංගයක් පමණයි. මේ විදිහට මිනිසෙකුගේ කිසියම් දුර්වලකමක් මුල්කොට, ඔවුන් ත්‍රස්තවාදීන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, සොරුන් කියා කණ්ඩායම්වලට වෙන්කර දැක්වීම සුදුසු නැහැ.

හිරගෙදර මා පුද්ගලයන් මිස මිනීමරුවන් දකින්නේ නැහැ ඒත් මා හිරගෙදරකට ගියාම මගේ උපක්‍රමය වන්නේ, මම ඔවුන් පුද්ගලයන් මිස අපරාධකරුවන් විදිහට නොදැකීමයි. මා කවදාවත් පුද්ගලයකු දිහා “මේ මිනීමරුවා” කියන සිතින් බලන්නේ නැහැ. 

ඔහු මට තවත් පුද්ගලයෙකු පමණයි. මිනීමැරුමක් කළ පුද්ගලයෙක් පමණයි. ඒ විදිහට කළාම ඔබ පුළුල් චිත්‍රය දකින්න පුළුවන්. එවිට මා ඉදිරියේ සිටින පුද්ගලයාට මට ගෞරව කරන්න පුළුවන් වෙනවා. අනික් පුද්ගලයන් ඔවුන්ට බයෙන් සිටියත්, මට ඔවුන් දිහා ගෞරවයෙන් බලන්න පුළුවන්.

ඕස්ට්‍රේලියාවේ කැනිංවේල්හි දරුණු සිරකරුවන් සිටින සිරගෙයකට මා ගිය වේලාවේ දරුණු සිරකරුවන්, සමලිංගික අපරාධකරුවන්ගෙන් ආරක්‍ෂාවීමට මට පෑනක් වැනි පුංචි මෙවලමක් දුන්නා. මා සිරගෙදර සැරිසරමින් සිටියදී එවැනි උපද්‍රවයක් මට සිදුවෙන්ට ගියොත් එම මෙවලමේ, බොත්තම් තදකරන ලෙසත්, එවිට අනතුරු හඟවන සංඥා ක්‍රියාකාරිවී, සිරගෙදර නිලධාරීන්ට මා බේරා ගැනීමට හැකි වන බවත් මට උපදෙස් දුන්නා. 

Friday, July 19, 2013

"මම මට වෙඩි තැබූ තලෙයිබානුවාටවත් වෛර කරන්නේ නෑ." -මලාලා යූසුෆසායි


[තලෙයිබාන්වරුන් විසින් හිසට වෙඩි තබා ඝාතනය කරන්නට තැත් කළ, පාකිස්ථානු පාසැල් දැරිය- මලාලා යූසුෆසායි, 2013 ජූලි මස 12 වන සිකුරාදා, සිය දහසය වැනි උපන් දිනය සමරනු වස්, විශේෂයෙන්ම කැඳවන ලද එක්සත් ජාතීන්ගේ රැස්වීමක් අමතා කළ කතාවේ සිංහල පරිවර්තනය.]

"අද, දිගු කලකට පසු නැවතත් මෙසේ කතා කරන්නට ලැබීම මා ලද ගෞරවයක්. ගෞරවාර්හ මිනිසුන් සමග මෙසේ සිටින්නට ලැබීම මගේ ජීවිතයේ ඉතාම වැදගත් මොහොතක්.

මගේ කතාව කොතැනකින් අරඹන්නටදැයි මා දන්නේ නෑ. මා කුමක් කියාවිදැයි මිනිසුන් හිතමින් ඉන්නවාද යන්නත් මා දන්නේ නෑ. නමුත්, සියල්ලටමත් වඩා, දෙවියන්ට ස්තූතිවන්නට අප සියල්ලෝම සමානයි. මගේ නව ජීවිතය වෙනුවෙනුත් මගේ ඉක්මන් සුවය වෙනුවෙනුත් යාඥා කළ හැමකෙනෙකුටම ස්තූතියි. මිනිසුන් මට මොනතරම් ආදරයක් දැක්වූවාද යන්න විශ්වාස කළ නොහැකි තරම්. ලෝකයේ සෑම තැනකින්ම මට සුව පැතුම් පත් සහ තිළිණ දහස් ගණනක් ලැබුණා. ඒ හැමදෙයකටම ස්තූතියි. දරු දැරියනි, ඔබටත් ස්තූතියි- ඔබේ අහිංසක වදන් මා දිරිමත් කළා. මගේ වැඩිහිටියනි, ඔබටත් ස්තූතියි- ඔබේ යැදුම් මා ශක්තිමත් කළා. මා සුවපත් කළ පාකිස්ථානයේ සහ එක්සත් රාජධානියේ රෝහල්වල මගේ හෙද සොයුරියන්ට, වෛද්‍යවරුන්ට සහ සියළු කාර්ය මණ්ඩලවලටත් ස්තූතියි.


Wednesday, July 17, 2013

මිනිසාගේ ආරම්භය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද කරැණු

දීඝ නිකාය, අග්ගඤ්ඤ සූත්‍රය (කොටස් අඩු කොට සංශේප කර ඇත)

ලොව නැවත සකස් වීම

වාසිටිඨයෙනි, දිගු කලක් ගෙවීමෙන් කවදා හෝ මේ ලොව නැසෙන කාලයක් වෙයි. ලොව නැසෙන කල්හි සත්ත්වයෝ බෙහෙවින් ආභස්සර බ්‍රහ්ම ලොව උපදිති. ඔවුහු ප්‍රීතිය ආහාර කර ගනිමින් වාසය කරයි. තම ශරීර ආලෝකයෙන් තමාම බැබලෙයි. අහසේ යෙත් සුභස්ථායි වු ඔවුහු දිගුකලක් වෙසෙයි.

වාසිටිඨයෙනි, ඒ කාලයේ අදුර එකම අඳුරැ කඳකි. සඳ හිරැ නොපෙනේ. නැකත් තරැ රෑ දහවල් නොපෙනෙයි.දින සති මාස නොපෙනෙයි. සෘතු අවුරැදු නොපෙනෙයි ස්ත්‍රීන් පුරැෂයෝ නෙපෙනෙත්. සත්ත්වයින් "සත්තු" කියාම ව්‍යවහාර වෙත්. අනතුරැව වාසිටිඨයෙනි, දිගුකලකින් පසුව කිසියමි දිනක ජලය මත්තේ රස පොළව හට ගන්නා ලදි. යමිසේ උණු කල කිරි නිවෙන විට මත්තෙහි යොදය හට ගනිත්ද, එසේ එය පහල විය. එය පැහැපත්විය. සුවඳවත් විය. රසවත්විය. එය මනා ලෙස සැකසු ගිතෙල් යමි සේ ද, මනා ලෙස සැකසු වෙඩරැ යමිසේද, එබදුය පැහැපත්ය. පිළවුන් නැති මී වදයක් මෙන් රසවත්ය.

ඉක්බිති එක් කෑදර සතෙක් "පින්වත්නි මේ කිමක්දැයි කියා රස පොළව ඇඟිල්ලෙන් ගෙන රස බලන ඔහුට ආශ්වාදයක් ඇති විය. ඔහුට තෘශ්ණාවද ඇති විය.


Sunday, July 14, 2013

හසලක ගාමිණී

බොහෝවිට ශ්‍රි ලංකාවේ වීරවරයන් පිළිබදව කතාකිරීමේදී ඔවුන් ජීවත්ව සිට ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. නිදහස ලැබුවායින් පසු ශ්‍රී ලංකාවේ වීරවරයන් බිහිනොවූවාදැයි යමෙකුට සැකයක් පහලවූවා නම් එය පුදුමයක් නොවේ. මන්ද එයින් පසු බොහෝවිට කතාවන්නේ දේශපාලන වීරයන් ගැන මිස තම රුධිරය, දහඬිය හෝ කදුළු හෙළු හෝ තම ජීවිතය පුදකල වීරයන් පිළිබදව නොවේ. කෙසේවෙතත් හරයක් නොමැති දේශපාලන වීරයන් අතර සැබෑ වීරයන්ද වසර තිහක් පුරා පිළිලයක් මෙන් ලංකාවේ සෑම දෙනාටම පීඩාගෙනදුන් ‍බෙදුම්වාදී යුද්දය තුලින් බිහිනොවූවා නොවේ. මෙම කාලවකවානුවේ බිහිවූ බොහෝ වීරයන් නිහඬව තම ජීවය මව්බිම වෙනුවෙන් කැපකර සමුගනිද්දී ඒ අතරින් ලක්දිව පවතින තුරාවටම කථාබහ කරන ශ්‍රේෂ්ඨතම විරුවෙකු ලෙස නොවැරදීම සදහන් කල යුත්තේ හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න නම් විරුවා පිළිබදවයි.

ඒ 1991 ජූලි 13 වනදා ගෙවෙමින් 14 වනදාට පහන්වෙමින් තිබූ රාත්‍රියයි. රුදුරු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් ඒවනවිට අරඹා තිබූ දෙවන ඊලාම් යුද්දයේ තීරණාත්මක දිනයක් වූ එදින, 5000 ක් වූ ඔවුන්ගේ සටන්කාමීන් පිරිස වටකර සිටියේ ලංකාවේ ඉහලම පිහිටි වැදගත්ම මර්මස්ථානයක් වූ අලිමංකඩ කඳවුරයි. පටු බිම් තීරුවක පිහිටා ඇති අලිමංකඩ යනු යාපන අර්ධද්වීපයට ගොඩබිම් මාර්ගයෙන් A9 මාර්ගය ඔස්සේ පිවිසෙන පිවිසුම් දොරටුව ලෙසද සදහන් කලාට වරදක් නැහැ. මෙම කදවුරේ ඒවන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 600 ක පමණ පිරිසක් සිටි අතර ගාමිණි කුලරත්නද එහි සිටි සොල්දාදුවෙක්. ඔහු සිංහ රෙජිමෙන්තුවේ, 6 වන බලසේනාවේ ලාන්ස් කෝප්‍රල් වරයෙකු වූ අතර ඔහු ඇතුළු පිරිසට පැවරී තිබූ රාජකාරිය, මෙම කඳවුර අත්පත් කර ගැනීමට කම්පන තරංගයක් ආකාරයෙන් නොනවත්වා පහර දෙන ත්‍රස්ථවාදීන්ට, කඳවුර අත්පත් කර ගැනීමට නොදී රැක ගැනීමයි. මෙසේ අලිමංකඩ කඳවුර අත්පත් කරගැනීමට ත්‍රස්ථවාදීන් විසින් 1991 ජූලි මස 10 වැනිදා ආරම්භකරන ලද අලිමංකඩ සටන හමාර වූයේ 1991 අගෝස්තු 04 වන දාය. ඒ වකවානුවේදී ත‍්‍රස්තවාදින්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වුයේ මෙම අලිමංකඩ සටනේදීය. මෙම සටනේදී හමුදාවේ දිවි පිදූ රණවිරුවන් අතර ඉහල පෙලේ නිලයන් දැරූ හමුදා නිළධාරින්ද වූහ.

Friday, July 12, 2013

ගැලීලියෝ කළේ කුමක්‌ ද?

කාළාම සූත්‍රයෙහි මුල් කොටසෙහි කියෑවෙන්නේ සියල්ල තනි ව ම කල්පනා කර පර්යේෂණ කර දැනගත යුතු බව නො වේ. එහෙත් මෙරට උගතුන් යෑයි කියන්නන් කාළාම සූත්‍රයට එවැනි අර්ථකථනයක්‌ දීමට තැත් කරන්නේ බටහිර විද්‍යාවෙහි ද එවැනි ආකල්පයක්‌ ඇතැයි විශ්වාස කරමිනි. එහෙත් එය එසේ නො වේ. බටහිර සෛද්ධාන්තික විද්‍යාඥයකු යෑයි කිව හැකි ලාංකිකයකු බොහෝ දෙනෙකු දන්නේ ගිරවුන් මෙන් විවෘත මනසකින් නිරීක්‍ෂණ කිරීමක්‌ ගැන කතා කිරීමටත්, එම`ගින් කල්පිතයක්‌ ඇති කිරීමත් නිගමනවලට එළඹීමත් වැනි සරල එහෙත් බටහිර විද්‍යාවේ කිසි දිනෙක සිදු නො වන ක්‍රියා ගැන නන් දෙඩවීමටත් ය.

බටහිර විද්‍යාවෙහි යම් අධ්‍යයනයක්‌ කෙරෙන්නේ ම කල්පිතයක්‌ මත පදනම් වී ය. අධ්‍යයනයක්‌ පටන් ගන්නා අයකුට සැම විට ම යම් මතයක්‌ ඇත. ගැලීලියෝ පීසා නුවර ඇල වෙන කුලුනේ පර්යේෂණය කළේ ම ස්‌කන්ධය කුමක්‌ වුවත් රික්‌තයක වස්‌තු එක ම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීමටත්, ඇරිස්‌ටෝටල්ගේ මතය, එනම් වඩා බර වස්‌තු ඉක්‌මනින් පොළොවට වැටෙන්නේ ය යන්න වැරැදි බව පෙන්වීමටත් ය. ගැලීලියෝ තම කල්පිතය නිවැරැදි බව පෙන්වීමට ලක ලැහැස්‌ති වී ඇල වෙන කුලුනට ගියේ ය. 

මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන්

වර්තමාන සමාජයේ මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන් බහුලය. විශේෂයෙන්ම මොවුන් තරුණ පරම්පරාව තුළ එමට දැක ගත හැකිය. ආගම අබිං සේ සලකන මොවුන් තරම් දන්නා පිරිසක් තවත් නැතැයි සිතා සිටිති. අරක්කු බෝතලය සාක්කුවේ ඔබා ගෙන සිගරට්ටුව කටේ ඔබා ගෙන කටින් සමාජවාදය දොඩවන්නන් ඕනෑ තරම් සිටි. මුහුණු පොතේද මෙවැනි කයිවාරු කාරයින් කොතෙකුත් ඇත. කරන්නට පුළුවන් දෙයක් නැත. නමුත් මුහුණු පොතේ පුරසාරම් දොඩවමින් සිටිති. විශ්ව විද්‍යාල තුලද මෙවැනි පිරිස් බිහිවී සිටීම සැබවින්ම කණගාටුවට කරුණකි. එනම් රටේ බුද්ධිමත් පරපුරෙන් බොහොමයක් මෙම කයිවාරු කාරයන්ට හසු වී ඇත. ඔවුනට ආගමක් නැත. ඔවුනට ජාතියක්ද නැත. නමුත් සෑම උපදින සත්වයෙකුටම වලංගු ලෙඩවීම, මහලු වීම, මරණය වැනි දැ ඔවුනටද වලංගුය. මාක්ස්වාදීන්, හේතුවාදීන් හෝ සමාජවාදීන් සුදු කොඩි පෙනෙන තුරු කයිවාරු ගසති. සුදු කොඩි පෙනෙන්නට ගත් විට මෙතෙක් අබිං වූ ආගම හදිසියේම මතක් වෙයි. ඉන්පසු පන්සල් සොයාගෙන යයි. බුදුමැදුරේ පෙරලි පෙරලි වදියි. හැම පෝයකටම සිල් ගනියි. එවිට ඔවුන්ට මාක්ස්වාදීන්, හේතුවාදීන් සහ සමාජවාදීන් යනු සිහිය විකල් වූ පිරිසක්ය.

අඬහැරය - 2013/06/28

බහුතර බෞද්ධයන්ගේ අවධානය පිණිසයි ........

වෙසක් සහ පොසොන් පෝය යනු බෞද්ධයන්ට ඉතා සුවිශේෂී වූ පොහෝ දෙකකි. නමුත් වර්තමානයේ මෙම පොහෝ දිනයන් දෙස විමසීමකින් බැලූ විට දක්නට ඇත්තේ සැබවින්ම කණගාටු තත්වයකි. බොහෝ දෙනා වෙසක් පොසොන් යන්නෙහි අරුතවත් නොදැන කටයුතු කරන බවක් පෙනෙන්නට තිබේ. අද වෙසක් පොසොන් යනු සැණකෙළි පවත්වන දින දෙකකි. කූට අන්දමින් මුදල් ගරන දිනයන් දෙකකි. වෙසක් පොසොන් දිනයන්හි අරුත වටහා ගෙන ප්‍රතිපත්ති පුජාවේ යෙදෙන්නේ ඉතාම සුළුතරයකි. බහුතරය පිස්සු නටති. 

මාධ්‍යවල වගකීම නිසි පරිදි ඉටු උනාද?

අප රටේ මාධ්‍යද ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. මීට කලකට පෙර ගුවන් විදුලියේ හා රුපවාහිනියේ විකාශය වූ වැඩසටහන් වල ගුණාත්මක බාවය අද වන විට පිරිහී ගොස් ඇත. කොටින්ම කියතොත් බලන්නට දෙයක් නැති තරම්ය. මුදලට වහ වැටී ඕනෑම කුණු ගොඩක් විකාශය කිරීමට තරම් වර්තමානයේ බොහෝ මාධ්‍ය පෙළබි සිටිති. බොහොමයක් වැඩසටහන් මිනිසුන්ගේ කාමාශාවන් අවුස්සන වැඩසටහන් වීමද මුළු මහත් සමාජයේම අභාග්‍යයකි. මීට කලකට ඉහත උදැසන විකාශය වුයේ දේශානුරාගී ගීතය. පාසල් යාමට සුදානම් වන දුවාදරුවන්ගේ කණ වැකුණේ තම මවු බිම පිළිබද හැගීමක් ඇති කරවන ගීතය. අද එම ගීත අසන්නට ලැබේද? ඒ වෙනුවට හිස් ගීත ගොන්නක් විකාශය වේ. අද දරුවන්ට තමන්ගේ රට පිලිබදව තමන්ගේ ජාතිය පිලිබදව හැඟීමක් නැත. එවන් පරපුරකින් මේ රටට ඇති සෙත කුමක්ද? මෙසේ ගිය හොත් අනාගතයේ මේ රටේ ඉතිහාසය ඔවුන් අතින් අතු ගෑවී යනු නොඅනුමානය. රටට ආදරය කරන දුවා දරුවන් පිරිසක් බිහි කිරීමට කයිවාරු ගසන සමහර දේශපාලකයින්ද මේ ගැන සිතා බැලිය යුතුය.

Wednesday, July 10, 2013

මරණයෙන් පසු සිදු වන්නේ කුමක් ද?

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

විද්‍යාඥයකු හා ඇසූ පිරූ තැන් ඇති ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේ නමක වූ ‘සිනා සෙන සුදු හාමුදුරුවෝ’ හෙවත් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ මරණය, මරණයට ආසන්න ජීවිතය, මරණයෙන් ඔබ්බට ගිය ජීවිතය හෙවත් නැවත ඉපදීම පිළිබඳ විග්‍රහ කරන්නේ කෙසේ ද කියා බලමු. What Happens after Death මැයෙන් උන් වහන්සේ මේ දේශනය පැවැත්වූයේ 1991 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ය.

මා පසුගියදාක මෙල්බර්න්හි සිටියදී එහි පැමිණි කෙනෙක් “ඔබේ මරණයෙන් පසු ව ඔබට සිදු වන්නේ කුමක්ද?” යන මාතෘකාවෙන් දේශනයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. භාවනා කරන විට, විශේෂයෙන් ගැඹුරු භාවනාවන්හි නිතර වූ විට ඔබට ඔබේ මනස ක්‍රියා කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මනස, ශරීරයට ප්‍රතික්‍රියා දක්වමින් ක්‍රියා කරන්නේ කොහොමද? යන කාරණා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වෙනවා. අවුරුදු ගණනාවක් භාවනාවේ නිරත වූ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද? මනසේ ස්වභාවය කුමක්ද? ශරීරයේ ස්වභාවය කුමක්ද කියා අවබෝධයක් ලබාගන්නට පුළුවන් වෙනවා.

පසුගිය අවුරුදු කිහිපය තිස්සේම මම මෙවැනි අවබෝධයක් ලබාගැනීමට උදවු වන භාවනා ක්‍රම ඉගැන්වීමේ නිරතව සිටියා. ධ්‍යාන වැඩීමේදී නැත්නම් ඉතා ගැඹුරු භාවනාවන්හි නිරතව සිටින විට ඔබට ඔබේ මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ලබාගත හැකි වෙනවා.

Sunday, July 7, 2013

මාලිගාවත්ත හෙල්ලූ 'මාමස්‌මි'

මාලිගාවත්ත කියූ පමණින් සිහියට නැගෙන්නේ පාතාල ලෝකයේ මහා සරුණු ගණයේ අපරාධකරුවන්ය. ඒ තරමටම මාලිගාවත්තත් පාතාල ලෝකයත් අතර ඇත්තේ දීර්ඝ කාලීන සම්බන්ධතාවකි.

කාලයෙන් කාලයට මාලිගාවත්ත සිය රාජධානිය කරගෙන කිරුළු පලන් රජවරු බොහෝය. එහෙත් ඔවුන්ගේ ආයු කාලය කෙටිය. ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ අතින් හෝ ආරක්‌ෂක අංශ අතින් බොහෝ පාතාල ප්‍රබලයෝ ඝාතනයට ලක්‌වූහ.

කුලී මිනීමැරුම්වලින් මුදල් ඉපයීම, මහා පරිමාණ මත්කුඩු ජාවාරම, කප්පම් ලබා ගැනීම මේ පාතාල කෙරුමන්ගේ ප්‍රධාන පෙළේ ආදායම් මාර්ගයන්ය. ඒ හරහා ඔවුන් ඉපැයූ ධනස්‌කන්ධය අතිවිශාලය.

මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලය බිහිවූයේ ඉමිටියාස්‌ සහ කුඩු නූර්ගේ නායකත්වයෙන්ය. එහෙත් වැඩි කාලයක්‌ ඔවුන්ට රජකම් කිරීමට ඉඩ ලැබුණේ නැත. ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් අතින් මේ පාතාල නරුමයෝ අවසන් ගමන් ගියහ.

නූර්ලාගෙන් ආරම්භ වූ මාලිගාවත්ත මුස්‌ලිම් පාතාලය අයුබ් ඛාන්, ඉන්විකාබ්, රිල්වාන්, අම්බට්‌ටා ෆසාල්, ලී මෝල වත්තේ රිස්‌වාන්, මල්බාර් මිල්වාන්, බයියා, නවුෂාඩ්, වංජල් අක්‍රම්, ඩොන්, පිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, රාජාබ්දීන්, එලී, ඩජීර්, ටෝජි, ෆාජි, අච්චා වැනි පාතාල නරුමයන්ගෙන් පෝෂණය වූහ. එහෙත් මේ පාතාල නරුමයන්ගෙන් වැඩි දෙනකු අද ජීවතුන් අතර නැත. ඒ පාතාල අපරාධකරුවන්ට පොදුවූ ධර්මතාවකි.

Related Posts Plugin for WordPress, Blogger...