Blogger Widgets

Sunday, September 29, 2013

සෝම හිමියන් වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශයක්

මහරගම සිරි වජිරඥාන ධර්මායතනවාසී
දියතලාවේ පියදස්සි හිමි

ප්‍රකට ධර්ම දේශක දියතලාවේ පියදස්සි හිමියන් සමඟ කරන ලද සාකච්ඡාවකි මේ

අති පුජ්‍ය ගංගොඩවිල සෝම හිමි
* වර්තමාන බෞද්ධ ප්‍රබෝධයේ නිර්මාතෘ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වෙලා අදට වසර අටක් ගතවෙනව. ඇත්තටම උන්වහන්සේගේ ජාතික හා ශාසනික මෙහෙය ගැන සිහිකළොත් ඔබවහන්සේට කිව හැක්කේ කුමක්ද?

සෝම හාමුදුරුවෝ කියන්නේ මහා ආලෝකයක් පතුරපු තරුවක්. උන්වහන්සේ පැවිදි උනේ අවුරුදු 25 දී. අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියනුත් අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියනුත් යටතේ පැවිදි බිමට පත්වූ ශ්‍රේෂ්ඨ යතිවරයෙක්.

උන්වහන්සේ පැවිදිවුනේ මහරගම ධර්මායතනයේදී. පැවිදි ආකල්ප අනුවම භික්ෂු ජීවිතය ගත කළ අයෙක් හැටියට සෝම හිමියන් හඳුන්වන්න පුළුවන්. බෝලවත්ත ආරණ්‍ය සේනාසනයෙන් ත්‍රිපිටක අධ්‍යාපනය ලැබුවේ. මාතලේ චේතියගිරි ආරණ්‍ය සේනාසනයෙත් මහඔය ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකත් වැඩසිටියා. 

ධර්මායතනයේ භික්ෂුන් එක්වෙලා ත්‍රිපිටක සූත්‍ර සාකච්ඡාවක් කළා. එහිදී සෝම හාමුදුරුවෝ කිව්වා මම බුද්ධගයාවේ කාලයක් භාවනා කළා. ඒ කාලයේ දී තමයි මට දහම වැටහෙන්න පටන්ගත්තේ කියලා. බුද්ධ ස්තූප පොත ලියන්න බුදු හාමුදුරුවන්ගේ ආශිර්වාදයත් ලැබුණා කිව්වා.

භික්ෂුවගේ ජීවිතයට භාවනාව අත්‍යවශ්‍යයයි. ඒක සෝම හිමියන් ප්‍රගුණ කළා. අල්පේච්ඡතාවය තිබුණා. මහඔය ආරණ්‍ය සේනාසනයේ වැඩවසන කාලයේ දී උන්වහන්සේ ළඟ තිබුණේ තුන් සිවුරයි. පාත්‍රයයි විතරයි.

සෙරෙප්පුවක්වත් භාවිතා කෙළේ නැහැ. ව්‍යක්ත විශාරද බහ්‍රශ්‍රැත ධම්මානුධම්මපටිපන්න භික්ෂුවක් ලෙස සෝම හිමියන් හඳුවන්න පුළුවනි. උන්වහන්සේට මහා ප්‍රඥාවක් තිබුණා. ඒ නිසයි සමාජයේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේ. ඒක උන්වහන්සේගේ සංසාරික පුරුද්දක්. සෝම හිමියන්ට ලැබිය යුතු ගුරුහරුකම් මඩිහේ මහ නාහිමියන්ගෙනුත් අම්පිටියේ නාහිමියන්ගෙනුත් ලැබුණා. 

සෝම හිමියන්ගේ අභීත ධර්මදේශනා විලාසය නිසා එවක හිටිය රජය පවා බියවුණා. උන්වහන්සේගේ ධර්මදේශනා විලාසයට විශාල පිරිසක් රොක්වුණා. එක් තැනක දී සෝම හිමියන් කීවේ මම මේ අමුතු බණක් කියන්නේ නැහැ. මම බුදුන්ගේ ධර්මයයි දේශනා කරන්නේ කියලා. ත්‍රිපිටකය ගැන ඉතා හොඳ දැනුමක් තිබුණා. වර්තමානයේ එහෙම භික්ෂුන් අඩුයි. අටුවාටීකා පවා උන්වහන්සේට කටපාඩම්ව තිබුණා.

උන්වහන්සේ කිව්වේ භික්ෂුවට තිබෙන්නේ කාර්යයන් දෙකයි කියල. සිවුරු පාත්‍ර අරගෙන කැලයට ගිහිල්ලා භාවනා කිරීම නැත්නම් රට ජාතිය ආගම වෙනුවෙන් සේවය කිරීම කියල. උන්වහන්සේ කීර්ති ප්‍රශංසා පසුපස හඹා ගියේ නැහැ. පිරිකර හම්බවුනත් ඒවා පන්සල්වලට බෙදා දුන්නා. උන්වහන්සේ ලොකු පන්සල් හදන්න ලොකු වාහන ගන්න ගියේ නැහැ. 

ඇත්තටම උන්වහන්සේ වර්තමාන භික්ෂු පරපුරට ආදර්ශයක්. උන්වහන්සේ මනුෂ්‍යයාගේ බුද්ධියටයි හදවතටයි දෙකටම කථා කළා. අද රූපවාහිනියේ බණ කියන සියලු භික්ෂුන්ට දොර ඇරියේ සෝම හිමියන්. උන්වහන්සේ රූපවාහිනි වැඩසටහනට අවශ්‍ය ලෙස විචාරශීලීව ධර්ම දේශනා සිදුකළා. සෝම හිමියන් මේ විවර කර දුන් මාධ්‍ය දොරටුව ගැන බොහෝ දෙනෙකුට අද අමතකයි. මිසදිටු අදහස් පලවා හරින්න බෞද්ධයාට නිසි මඟ පෙන්වන්න සෝම හිමියන්ට හැකිවුණා. සෝම හිමියන් මේ ගමන ගියේ කටුක මාවතකයි. 

දැවැන්ත පීඩනයක් උන්වහන්සේට එල්ල කළා. කැලෑ පත්තර ගහලා මානසිකව වට්ටන්න හැදුව. නමුත් උන්වහන්සේ වැටුනේ නැහැ. කවදාහරි සත්‍යය ජයගන්නා බව උන්වහන්සේ ප්‍රකාශ කළා. පැයක බණ පැය තුනක් දක්වා දික්කළේ සෝම හිමියෝ නමුත් බෞද්ධයෝ මේ පැය තුනම ඉතා සාවධානව බණ අහගෙන හිටියා. සෝම හිමියන් බණ දේශනා කළේ රට ගොඩ ගන්නයි.

* සෝම හිමි දර්ශනය අදටත් බෞද්ධ සමාජයට වලංගුයි. මේ දර්ශනය ඉදිරියට ගෙනයාමට කුමක් කළ යුතු ද?

සමහරු පටු අරමුණු ඉෂ්ට කර ගන්න සෝම හිමි දර්ශනය ඉදිරියට දානව. නමුත් උන්වහන්සේට පටු අරමුණු තිබුණේ නැහැ. ලොකු පන්සල් හදාගෙන වැජඹෙන්න අවශ්‍ය වුණේ නැහැ. අපි එකිනෙකාට අවංක විය යුතුයි. ශාසනමාමකත්වය ඇතිවිය යුතුයි. බුද්ධ ශාසනය රැකගන්න සියලු දෙනාම එක්වෙලා කටයුතු කළ යුතුයි. බුදුන්වහන්සේ යාපනයේ වැඩ හිටියත් දෙවුන්දර වැඩ හිටියත් ඒ අපේ බුදුන්. සිව්වනක් පිරිසම එක්වෙලා කටයුතු කළ යුතුයි. එහෙම උනොත් තමයි සෝම හිමි දර්ශනය ඉදිරියට ගෙන යන්න හැකිවෙන්නේ.

* ඇත්තටම සෝම හිමියන් පැය තුනක් ධර්ම දේශනා කරද්දීත් ඒ බණ අහන්න විශාල තරුණ ජනකායක් රොක්වුණා. එය ඔබවහන්සේ දකින්නේ කොහොම ද?

උන්වහන්සේ තරුණයන්ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු දුන්නා. තරුණයන්ගේ මානසික පීඩාවන් හොඳින් හඳුනාගෙන හිටියා. තරුණයන්ගේ ප්‍රශ්නවලට ධර්මානුකූල පිළිතුරු ලබාදුන්නා. පංචශීල ප්‍රතිපදාව අනුව ජීවිතය හැඩගස්වා ගන්නේ කොහොමද කියලා ප්‍රායෝගිකව පැහැදිලි කරලා දුන්නා. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමෙන් සමාජයට වන සේවාව කියලා දුන්නා. ධර්ම පිපාසයෙන් ඉන්නා ජනතාවට නිසි ලෙස ධර්මය බෙදා දුන්නා. 

ඒ නිසා තරුණ තරුණියෝ විශාල වශයෙන් උන්වහන්සේගේ බණ අහන්න ආවා. එදා සෝම හිමියන්ගේ බණ අහලා මත්පැන්වලට ඇබ්බැහිවූවන් මත්පැන් බීම අත්හැරියා. සෝම හිමියන් රැල්ලක් ගොඩනැගුවේ නැහැ. එහෙම කියනවානම් බුදුන්වහන්සේත් ඒ කාලයේ රැල්ලක් ගොඩනැගුවා වෙනවා. උන්වහන්සේ පැහැදිලි කළේ සත්‍යාවබෝධයයි. යථාවබෝධයයි. සෝම හිමියන් කළේ සම්මාදිට්ඨිය ඇතිකරන එකයි. ඒක තමයි සෝම හිමියන් සතුව තිබූ සුවිශේෂ හැකියාව.

පුජ්‍ය දියතලාවේ පියදස්සි හිමි
* සෝම හිමියන්ගේ හදිසි අපවත්වීමත් සමඟ බෞද්ධ සමාජයේ හිඩැසක් ඇතිවුණා නේද?

ඇත්තටම විශාල හිඩැසක් රික්තයක් තියනවා. ඒක පුරවන්න කාටවත් පුළුවන්වෙයි කියලා මම හිතන්නේ නැහැ. උන්වහන්සේ ඉටුකළ කාර්යභාරයෙන් කාලක්වත් ඉටුකරන්න හැකියාව තියන කෙනෙක් නැහැ. ඒක උන්වහන්සේගේ සංසාරික පුරුද්ද. ත්‍රිපිටකය පාඩම් කළත් භාවනා කළත් ධර්මය දේශනා කරන්න බැරිනම් වැඩක් නෑ. අනෙක් කරුණ තමයි ජන විඥානය හඳුනාගන්න ඕනෑ. සෝම හිමියන් ඉතා හොඳින්ම ජන විඥාානය හැදුවා. 

උන්වහන්සේ සාමාන්‍ය ධර්ම දේශනා ක්‍රමයෙන් ඔබ්බට ගියා. ධර්ම දේශනය ධර්ම සාකච්ඡාවකට පරිවර්තනය කළා. උන්වහන්සේ බුදු දහම අතහැරලා දේව සංකල්පය පසුපස යන පිරිස විවේචනය කළා. මෙයින් සමාජය ඇවිස්සුණා. දේව සංකල්පය මොකක්ද නිවැරදි බුදු දහම මොකක්ද කියලා උන්වහන්සේ හඳුන්වා දුන්නා. පුංචි පවුල රත්තරන් කියන සංකල්පය විවේචනය කළා. උන්වහන්සේ දැක්කා මේ නිසා ජාතියට වුණු විනාශය. 

එදා සෝම හිමියන්ට බැනපු අකුල් හෙළපු අය අද උන්වහන්සේගේ සේවය සිහිකරමින් අඬනවා. අපේ රටේ තියෙන දුර්වලම කාරණයක් තමයි කෙනෙක් මියගියාට පස්සේ තමයි හොඳ පේන්නේ. ජීවත්වෙලා ඉන්න කාලේ තමයි යම් පුද්ගලයකුගෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ. ගල්මුල් ගහන එක නොවෙයි. බුදුන්ටත් නිග්‍රහ කළා. දේවදත්ත ගල් පෙරළුවා. සංඝ භේදය ඇති කළා. ශාසනය කඩාගෙන ගියා. අද ඊට වඩා භයානකයි. සෝම හිමියන් ජාතිවාදියෙක් කියලත් ඇතැම් අය ලේබල් ගැහුවා. දොස් කිව්වා.

* ඔබවහන්සේ සෝම හිමියන්ගේ ධර්ම දේශනා ශෛලියද අනුගමනය කරන්නේ. බොහෝ දෙනා කියන්නේ ඔබවහන්සේගෙත් සෝම හිමියන්ගේත් කටහඬ එක හා සමාන බවයි.

සෝම හිමියන් අපවත්වෙලා අවුරුදු 2කට පසුවයි මම මහණ උනේ. මම උන්වහන්සේ සජීවීව බණ කියනවා දැක තියෙන්නේ එක්වරයි. මම උන්වහන්සේගේ දර්ශනය ඉදිරියට ගෙනයනවා. අපේ වටිනාකම් අපි ආරක්ෂා කරගත යුතුයි. සෝම හිමියන් එදා කියපු දේවල් මම අද කියන්නේ නැහැ. නමුත් මම සෝම හිමියන්වගේ බණ කියනවානම් ඒකෙන් කාටද ප්‍රශ්නයක් වෙන්නේ. මිල්ටන්ගේ පුතා තාත්තා වගේ සින්දු කියනවානම් ඒක තාත්තාගෙන් ලැබුණු උරුමයයි. 

ඒක කාටවත් වළක්වන්න බැහැ. හඬ හෝ රූපය නෙවෙයි වැදගත්. ප්‍රකාශ කරන දෙයයි. මම මගේ උරුමය ක්‍රියාවට නංවනවා. එය වළක්වන්න කාටවත් බැහැ. සමහරු මට බණිනවා සෝම හිමියන් ආශ්‍රය කරලාවත් නැහැ කියල. මගේ ජීවිතයේ ලොකුම අවාසනාවන්ත සිද්ධීන් දෙකක් තියනව. ඒ තමයි මඩිහේ මහ නාහිමියන් හා සෝම හිමියන් ආශ්‍රය කිරීමට නොලැබීම. 

ඒ චරිත අද හිටියානම් අපි ගොඩාක් දුර ගිහිල්ලා. මගේ ගුරු හාමුදුරුවරු වෙන්නේ වැලිගම ඥාණරතන නාහිමියන් හා අම්පිටියේ රාහුල නාහිමියන්. මම බණ කියද්දී බණිනවා කියල සමහරු කියනව. ඇත්තටම මම ප්‍රකාශ කරන්නේ ඔබ අද අත්දකින දේ හෙට ඔබේ දරුවාට මුහුණදෙන්න වෙයි කියන එකයි.



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...