ඇට බිඳෙන රෝගයෙන්
පීඩා විඳිමින්
මව රැක ගන්නා පුතෙක්
මේ කතාව සුරංගනා කතාවක් නම් නොවේ. අනන්ත දුක් කන්දරාවක් විඳිමින් තම දරු
දෙදෙනාගේ අවසන් සුසුම් පොදත් රැක ගැනීම සඳහා වෙහෙසෙන මවකගේත්, තම මවගේ හා
වැඩිමල් සොයුරියගේත් ජීවිත රැක ගැනීමට තම හැකියාවෙන් මුදල් උපයන පූර්ණ
ආබාධිත තරුණයකුගේත් කතාවකි.
මව - එම්. ඒ. අයිරාංගනී
වයස - අවුරුදු හැටපහයි.
මුලින්ම අපි ඒ අයිරාංගනී අම්මාගේ කතාවට සවන් දී බලමු.
මගේ ගම කොටුවැල්ල. මම විවාහ වුණේ අවුරුදු එකොළහේදී. දෙමවුපිය කැමැත්තෙන්
හොඳට මඟුල් කාලා තමයි මම බැන්දේ.
මම බැන්දේ මගේ අවැස්ස මස්සිනාව. කසාද බැඳලා ටික කාලෙකින් මට දරුවෝ ලැබුණා. දරුවෝ ලැබිලා ටික කාලෙකට පස්සේ තමයි ලෙඩ වෙන්න ගත්තේ.
ඒ වෙන කොට දරුවන්ගෙ තාත්තා වැඩ කළේ උසාවියේ. රෝහල්වලට ගෙනිහිල්ලා දරුවන්ව
පෙන්නුවා. දවසක් දොස්තර මහත්තයා අපේ මහත්තයට විතරක් ඇතුළට කතා කරලා කිව්වා මේ
දරුවන්ට තියෙන ලෙඩේ හොඳ කරන්න බැහැ කියලා. ඊට පස්සේ ඉඳන් මහත්තයගෙ හිත නරක් වෙලා
ඔළුව හොඳ නැතිව ගියා. මං දරුවොත් එක්ක ඉස්පිරිතාලවල හිටියා. දැන් මහත්තයා
මැරිලා අවුරුදු දාහතක් වෙනවා. මට ඔක්කෝම දරුවෝ එකොළහක් ලැබුණා. එයින් පස්
දෙනෙක්ම අවුරුදු දහඅට, පහළොව, දාසය, දාහතර වයසෙදි මැරුණා.
ඒ දරුවන්ට
තිබුණෙත් අස්ථි බිඳෙන රෝගය. දරුවෝ හතර දෙනෙක් හොඳටම නිරෝගියි. ඒ අය හතර දෙනාම
කසාද බැඳලා දරුවෝ ඉන්නවා. නිරෝගීව හිටපු දුවලා තුන් දෙනා අද මාවත් මේ දරුවන්වත්
බලන්න එන්නේ නැහැ. කසාඳ බැඳලා හිටපු පුතා මීට කාලෙකට කලින් මැරුණා. එයාගේ බිරියයි
දරුවොයි පදිංචි වෙලා ඉන්නේ අපට සිංහ සමාජයෙන් හදලා දුන්න නිවසේ. මේ ඉන්න පුතා
තමයි අවුරුදු අටේ ඉඳලම හම්බ කරලා මමයි මේ මගේ ආබාධිත දුවවයි බලා ගත්තේ.
මහත්තයා මැරුණට පස්සේ අපිට ඒ ගෙවල්වලින් එළියට බහින්න සිද්ධ වුණා.
මගේ
දෙමවුපියෝ සහෝදර සහෝදරියෝ කිව්වේ දරුවෝ දාලා ඒගොල්ලෝ ළඟට එන්න කියලා. ඒත් මේ
අහිංසක දරුවෝ දෙන්නා දාලා මං කොහොම යන්න ද? පුළුවන් හැටියකට සනීප කරගන්න කියලා
හිතාගෙන මං දරුවෝ මත්තේ නැහුණා. මහත්තයගේ මරණෙන් පස්සේ මට එයාගේ විශ්‍රාම වැටුප
වන රුපියල් දොළොස් දාහක් ලැබෙනවා. ඒත් පහුගිය කාලෙම හොඳට ඉන්න දරුවෝ ඒ මුදල්
බලෙන්ම අරගෙන යනවා.”
අයිරාංගනී අම්මා චීත්ත පොටින් කඳුළු පිසිමින් පවසන්නීය.
උපන් දා සිට කිසිදු දිනෙක පය බිම ගසා නොමැති පුතු අම්මා දෙස බලා හිඳින්නේ කඳුළු
පිරි දෑසිනි.
ඔහු අසංක කුමාර තෙන්නකෝන්
වයස අවුරුදු විසි අටයි.
මේ ඔහුගේ කතාවයි.
“මටත් ආසයි සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. ඒත් කොහොම ද එහෙම ඉන්නේ. මගේ මේ පුංචි
අතපය හොඳටම රිදෙනවා. අපෙ අම්මා නොහිටින්න මම මෙලහටත් මැරිලා ගිහින්. අම්මා
මාවයි අක්කවයි දෙන්නවම බෙහෙත් ගන්න ගෙනියනවා. අපේ අක්කලා තුන්දෙනෙක්ම
නිරෝගියි. ඒත් අපි ඒගොල්ලන්ට කරදර කරන්න යන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි මෙහෙම ඉන්න
එක ගැන ලැජ්ජයි. මට ‘කොරා’ කියලා බණිනවා.
“අනේ එහෙම කියන්න එපා පුතේ ඔයා මට කොරෙක් නෙමෙයි ඔයා මට තාත්තෙක් වගෙයි” අසංකගේ මව
අයිරාංගනී ඔහුගේ කතාව වළකමින් හඬා වැටෙන්නීය.
“මම පුංචි කාලේ පුළුවන් හැටියට සින්දු කියනවා. එහෙම සිංදු කියලා ලැබෙන කීය හරි
එකතු කරලා අම්මට දෙනවා. ගෙදරට හාල් තුන්පහ ගේන්න කියලා. බලන්න මගෙ අම්මා වයසයි.
අපිට යන්න එන්න ඉන්න තැනක් නැහැ. අපට ඉන්න හිටින්න මේ ගේ දීලා තියෙන ප්‍රේමා අක්කයි
එයාගෙ අම්මයි නැත්නම් අපි තාමත් මහ පාරේ. ඒත් එයාලට අපි නිසා හරිම කරදරයි. අපේ
අක්කලා අපි ඉන්න තැන්වලට හොයාගෙන ඇවිත් අපිට බණිනවා. එයාලට ලැජ්ජයි කියලා මේ
ගෙවල්වලින් අප එළවන්න කියනවා. මම මැරෙන්න කලින් මගෙ අක්කටයි අම්මටයි
සැනසිල්ලේ ඉන්න තැනක් හදලා දෙන්න පුළුවන්නම් මට ඒ හොඳටෝම ඇති. මම ඉන්දැද්දිත්
පේනවනේ මගේ සහෝදරියෝ අම්මටයි මේ අක්කටයි සලකන හැටි.”
රෝද පුටුවට සීමා වූ අස්ථි බිඳෙන රෝගයෙන් පෙළෙන මේ තරුණයාගේ හිත කොයිතරම් නම්
ශක්තිමත් දැයි තේරෙන්නේ ඔහු ජිවිතය ජයගන්නට උත්සාහ දරන අයුරු දකින විටය. අනුන්ට
අතපා ජිවිතය සොයන ඔහු නිකම්ම නිකමෙකු ලෙස හිඳින්නට අකමැතිය. මේ මවත් පුතාත්
නිවෙස හිමිකාරි ප්‍රේමචන්ද්‍රානී විසින් සාදා දෙන හඳුන්කූරු රැගෙන පොළවල්වලට
යන්නෝය. එහෙමත් නැත්නම් පුතා පොළවල්වල සින්දු කියන්නේය. මේ හැම ගමනකදීම
අමාරුයැයි කියා පසෙකට වී නොසිටින අයිරාංගනී අම්මා ද තම පුතු හා එක මඟ යන්නීය.
ඔවුන් ගමන් ගන්නේ කුලියට අඬ ගසා ගන්නා ත්‍රිරෝද රථවලිනි. ඒ සඳහා වන මිල අධිකය.
පොළවල්වල, පන්සල් භූමිවල හිඳිමින් උපයා ගන්නා කීය හෝ වැය වන්නේ ත්‍රීරෝද රථ
ගාස්තු ගෙවීමටය. කෑමට බීමට ඉතිරි වන්නේ සුළු මුදලකි. අසංක, ඔහුගේ මව හා ආබාධිත
සොයුරිය මේ නිවෙසට පැමිණීමට පෙර ඉබාගාතේ ඇවිද ගියහ. ඔහු වසර හතක්ම කුරුණෑගල
හවරියාව ප්‍රදේශයේ සුසාන භූමිය කෙළවරක අටවා ගත් පැලක සිටියේය.
“අපිට ඒ ගේ හදලා දුන්නේ ඒ ගමේ අය. දවල්ට මම සින්දු කියලා කීයක් හරි හම්බ කරනවා. මම
ඒ සල්ලි අම්මා අතට දෙනවා. රෑ වෙනකොට අක්කා නිදියනවා. එයාට කිසිම දෙයක් ගැන ගාණක්
නැහැ. තමන්ගේ දේවල් කරගන්න අමාරුයි. ඒත් ඉන්නේ කනත්තේ නිසා අම්මටයි මටයි නින්ද
යන්නේ නැහැ. අපිට මහ රෑට විවිධ ශබ්ද ඇහෙනවා. එක දවසක් ගැහැනියක් හූ කියනවා
ඇහුණා. ඒ වෙලාවට අම්මයි මමයි අඬනවා. පව් මගෙ අම්මා අපි නිසා හුඟාක් දුක්
විඳිනවා.”
අසංක පවසන්නේ අම්මා ගැන උපන් ශෝකයෙනි. වසර ගණනක් තිස්සේ තම සොයුරියන්ගෙන් ලද
කෙණෙහිලිකම් නිසා ඉබාගාතේ ඇවිද ගිය අසංක ඔහුගේ මව හා සොයුරිය අද වන විට යම්
සැනසිල්ලක් අත් විඳින්නාහ. ඒ ප්‍රේම චන්ද්‍රානිගේ නිවෙසේ සෙවණ ලැබීමට තරම්
වාසනාවන්ත වූ නිසාය.
ගිරිඋල්ලට යන පාරේ ගොස් හමන්ගල්ලට යන පාර දිගේ ගිය විට හමුවන්නේ මොහොත්තව
පන්සලයි. මොහොත්තව පන්සල අසලින්ම වැටී ඇති ගුරු පාරේ ගිය විට
ප්‍රේමචන්ද්‍රානිගේ නිවෙස හමුවේ. ඇගේ නිවෙස අසංකලාට නම් රජ මැදුරක් බඳුයි.
කාමර කිහිපයක් මුළුතැන් ගෙයක් සාලයක් ඇති එම නිවෙස ප්‍රේමචන්ද්‍රානි විසින්
සාදවා ගත්තකි.
“කාලයක් මම රට හිටියේ. ඒ ලැබුණු මුදල්වලින් තමයි මම මේ ගේ හදා ගත්තේ. මගෙ දරුවෝ
දෙන්නම බැඳලා. අපේ අම්මයි මමයි තමයි මේ ගෙදර ඉන්නේ. මට අසංකලාව හමුවුණේ මාහරගම
රෝහලේදී. එයාලා රෝහලෙන් ටිකට් කැපුවත් රෝහලටම වෙලා හිටියා යන්න තැනක් නැතිව.
අසංකයි එයාගේ අම්මයි අක්කයි ගැන මටයි මගේ අම්මටයි දුක හිතුණා. ඒ නිසා අපි කිව්වා
ඇවිත් අපේ ගෙදර ඉන්න කියලා. මේ ගොල්ලෝ මේ ගෙදරට ඇවිල්ලා අවුරුද්දකට වැඩියි.
හුඟක් අය කැමැති නැහැ මං මේ ගොල්ලන්ව නතර කරගත්තට. ඒත් මම කිව්වේ මේක මගේ ගේ. ඒ
නිසා මම මෙයාලට ඉන්න දෙනවා කියලා.
අනුන්ගේ සිතැඟි අනුව නොව තමන්ට අවශ්‍ය දේ කරන ප්‍රේමචන්ද්‍රානි ඇතැම් විට මහ
රාත්‍රියේ වුව අසංකට අමාරු වූ විට ත්‍රිරෝද රථයක් ගෙන්වා ඔවුන් රෝහලට පිටත් කර
යවන්නීය. අසංකගේ මව එවිට රෝහලට යන්නේ ආබාධිත දියණියව ද රැගෙනය.
“මේ දරුවා අසනීප කාරයා වුණාට කොහොම ද ආවාට ගියාට තියන්නේ. මම වැඩි පරිස්සමට
එක්කරගෙන යනවා. දුවවත් පුතා ඉන්න වාට්ටුවේම තියා ගන්නවා. ඉස්පිරිතාලේ දොස්තර
නෝනා අපි ගැන දන්නවා. පුතාව හැමදාම යවන්නේ කාන්තා වාට්ටුවට. පුතාට හොඳ වනතුරු මම
දුවවත් තියාගෙන රෝහලේ ඉන්නව. අපිට යන්න එන්න තැනක් නැහැ. මං මගේ නෑයන්ගෙන්
ගිහිල්ලා පර්චස් පහක් හරි ඉල්ලුවා. ලැබුණේ නැහැ. පුතා මැති ඇමැතිවරුන්ට අනුන්
ලවා ලියුම් ලියෙව්වා. සමහර මහත්තුරුන්ව ගිහිල්ලා හමුවුණා. ඒත් වැඩක් වුණේ
නැහැ.”
අයිරාංගනී මේ සියලු කතා අවසානයේ පවසන්නේ තමන්ටම කියා නිදහසේ වැටි ඉන්නට
ගෙයක් ලැබෙන්නේ නම් හොඳ යැයි කියාය.
දෑත දෙපය ඇති උසස් රැකි රක්ෂා කරන දූ පුතුන් තම මව වැඩිහිටි නිවාසවල නතර කරන
එහෙමත් නැත්නම් නොසලකා හරින යුගයක අසංක සමාජයටම ආදර්ශයක් ගෙන එන්නේය.
ශරීරයේ ඇට බිඳෙන විට උසුලාගත නොහැකි වේදනාවෙන් පෙළෙන අසංක ඒ සියල්ල අමතක කර
දමා අම්මාගේත් අක්කාගේත් කුසගින්න නිවීමට ගිනි මද්දහනේ පොළවල්වල හඳුන්කූරු
විකුණන්නේය. එහෙමත් නැත්නම් සංගීත භාණ්ඩ වයන්නේය. ජීවිතේ මහා ලොකු
බලාපොරොත්තු නැති මොහුගේ එකම අරමුණ අම්මාට හා අක්කාට සැනසිල්ල උදාකර දීමය.
අක්කාට නම් තම අම්මාත් මල්ලිත් ජීවිතය ගැටගහ ගන්නට විඳින දුක ගැන අංශුමාත්‍රයක
හෝ වැටහීමක් නැත. එසේ වුවත් ඔහු මල්ලිට අවශ්‍ය දේ ඔහු කියු විට ළඟට ගෙන දෙන්නීය.
අපෙ අම්මා අපි නිසා අනන්ත නින්දා අපහාස විඳින්න ඇති. සමහරු අම්ම ඉන්න තැනක්
ඉල්ලුවාම කියන්නේ ‘ඔය ගෑනි කියන්නේ බොරු ඉන්න තැන් විකුණ විකුණා යනවා’ කියලා. ඒත්
අපිට කවදාවත් අපේම කියලා තැනක් තිබුණේ නැහැ. හැමෝම අපිව එළෙව්වා. මේ අක්කයි කිරි
අම්මයි තමයි අන්තිමට අපට පිහිට වුණේ. ඒත් අපිට මෙතන ඉන්න බැහැ. අක්කටත් අපි නිසා
හරි ප්‍රශ්න. අම්මයි මමයි පොළේ හඳුන්කූරු විකුණන්න ගියහම ප්‍රේමක්කා තමයි අපේ
අක්කව බලාගන්නේ. මං වැඩිය බත් කන්න ආස නැහැ. මං ආසයි චොකලට් කේක් කන්න.” අසංක තම
දුක කියන අතරේම ඔහු කන්නට කැමැති දේ ද කියයි.
ඔහුගේ ජීවිතය ඔහුටම විශ්වාස නැත. කොයි මොහොතේ හෝ තමා මියගියහොත් ඉන් බොහෝ
අසරණ වන්නේ තම මව හා සොයුරියයි යන්න ඔහුගේ හැඟීමයි. එනිසාම ගෙවෙන හැම
තත්පරයක ඔහු සිතන්නේ තවත් මොහොතක් හෝ ජීවත්වීමට ඇත්නම් හොඳ යැයි කියාය. ඒ
අම්මාටත් අක්කාටත් ස්ථිර නිවහනක් සොයා දෙන තුරුය.
ජීවිතයේ කිසිඳු දිනයක සැපයක් නොලද අසංකගේ මව බාල වියේ සිටම තම කුසින් බිහි කළ
දරුවන් රෝගී වන අයුරු ද මියයන සැටි ද දුටුවාය. එපමණක් නොව තම දියණියන් තමන්ට
හා දුවට පුතාට නින්දා අපහාස කෙනෙහිලිකම් කරන අයුරු දුටුවාය. ඒවා අත්වින්දාය.
උණහපුළුවාට උගේ පැටවා මැණිකක් කියන්නා සේ අයිරාංගනී ද තම පුතු ආදරයෙන් රැක
බලාගන්නීය. කවුරුන් කෙලෙස කීවත් තමන්ට ජීවිතය ගෙන එන්නේ මේ ආබාධිත පුතුම
බැවිනි.
No comments:
Post a Comment