Blogger Widgets

Sunday, July 14, 2013

හසලක ගාමිණී

බොහෝවිට ශ්‍රි ලංකාවේ වීරවරයන් පිළිබදව කතාකිරීමේදී ඔවුන් ජීවත්ව සිට ඇත්තේ මීට වසර ගණනාවකට පෙරය. නිදහස ලැබුවායින් පසු ශ්‍රී ලංකාවේ වීරවරයන් බිහිනොවූවාදැයි යමෙකුට සැකයක් පහලවූවා නම් එය පුදුමයක් නොවේ. මන්ද එයින් පසු බොහෝවිට කතාවන්නේ දේශපාලන වීරයන් ගැන මිස තම රුධිරය, දහඬිය හෝ කදුළු හෙළු හෝ තම ජීවිතය පුදකල වීරයන් පිළිබදව නොවේ. කෙසේවෙතත් හරයක් නොමැති දේශපාලන වීරයන් අතර සැබෑ වීරයන්ද වසර තිහක් පුරා පිළිලයක් මෙන් ලංකාවේ සෑම දෙනාටම පීඩාගෙනදුන් ‍බෙදුම්වාදී යුද්දය තුලින් බිහිනොවූවා නොවේ. මෙම කාලවකවානුවේ බිහිවූ බොහෝ වීරයන් නිහඬව තම ජීවය මව්බිම වෙනුවෙන් කැපකර සමුගනිද්දී ඒ අතරින් ලක්දිව පවතින තුරාවටම කථාබහ කරන ශ්‍රේෂ්ඨතම විරුවෙකු ලෙස නොවැරදීම සදහන් කල යුත්තේ හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න නම් විරුවා පිළිබදවයි.

ඒ 1991 ජූලි 13 වනදා ගෙවෙමින් 14 වනදාට පහන්වෙමින් තිබූ රාත්‍රියයි. රුදුරු දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ත්‍රස්තවාදීන් ඒවනවිට අරඹා තිබූ දෙවන ඊලාම් යුද්දයේ තීරණාත්මක දිනයක් වූ එදින, 5000 ක් වූ ඔවුන්ගේ සටන්කාමීන් පිරිස වටකර සිටියේ ලංකාවේ ඉහලම පිහිටි වැදගත්ම මර්මස්ථානයක් වූ අලිමංකඩ කඳවුරයි. පටු බිම් තීරුවක පිහිටා ඇති අලිමංකඩ යනු යාපන අර්ධද්වීපයට ගොඩබිම් මාර්ගයෙන් A9 මාර්ගය ඔස්සේ පිවිසෙන පිවිසුම් දොරටුව ලෙසද සදහන් කලාට වරදක් නැහැ. මෙම කදවුරේ ඒවන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 600 ක පමණ පිරිසක් සිටි අතර ගාමිණි කුලරත්නද එහි සිටි සොල්දාදුවෙක්. ඔහු සිංහ රෙජිමෙන්තුවේ, 6 වන බලසේනාවේ ලාන්ස් කෝප්‍රල් වරයෙකු වූ අතර ඔහු ඇතුළු පිරිසට පැවරී තිබූ රාජකාරිය, මෙම කඳවුර අත්පත් කර ගැනීමට කම්පන තරංගයක් ආකාරයෙන් නොනවත්වා පහර දෙන ත්‍රස්ථවාදීන්ට, කඳවුර අත්පත් කර ගැනීමට නොදී රැක ගැනීමයි. මෙසේ අලිමංකඩ කඳවුර අත්පත් කරගැනීමට ත්‍රස්ථවාදීන් විසින් 1991 ජූලි මස 10 වැනිදා ආරම්භකරන ලද අලිමංකඩ සටන හමාර වූයේ 1991 අගෝස්තු 04 වන දාය. ඒ වකවානුවේදී ත‍්‍රස්තවාදින්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වුයේ මෙම අලිමංකඩ සටනේදීය. මෙම සටනේදී හමුදාවේ දිවි පිදූ රණවිරුවන් අතර ඉහල පෙලේ නිලයන් දැරූ හමුදා නිළධාරින්ද වූහ.


ඉන්දු-ලංකා ගිවිසුම අනුව ඉන්දියානු හමුදාව සාමය ස්ථාපිත කිරීමට ලංකාවට පැමිණියත් එයට පසුව ත්‍රස්ථවාදීන් මෙන්ම මෙරට ඇතැම් කණ්ඩායම්ද විරුද්ධ වූ නිසා ඔවුන්ට එම කාර්යය සම්පූර්ණයෙන්ම ඉටුකිරීමට පෙර අපහාසදවිද සහ සෑහෙන හානිද සහිතව නැවත තම රටට යාමට සිදුවූ අතර ත්‍රස්ථවාදීන් එම හමුදාව රැදී සිටින කාලයේ උපක්‍රමශීලී ලෙස ලංකා රජය සාම සාකච්ඡා සදහා පොළඹවාගෙන සාකච්ඡා පවත්වන්නට වූ අතර රජයද මෙම බෙදුම්වාදීන් කෙරේ පූර්ණ විශ්වාසය තබා සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ විවිද ඉල්ලීම් හා සම්පත් ලබාදීමද සිදුකලේය. එසේ කරන අතරවාරයේ මෙම ත්‍රස්ථවාදීන් විවිද ආයුද හොර රහසේ ගෙන්වා ගනිමින් තමන්ගේ හමුදාව ශක්තිමත් කලහ. ඉන්දියානු හමුදාව මෙරටින් බැහැර වූ පසු ඔවුන් බලය තහවුරු කර ගෙන සිටි එම ප්‍රදේශයන්ගේ රික්තය පිරවීම නිරායාසයෙන්ම සිදුවූයේ මෙම ත්‍රස්ථ කණ්ඩායමෙනි. 

මෙසේ ශක්තිමත් වූ ත්‍රස්ථවාදීන් දැඩි ප්‍රහාර අලිමංකඩ කඳවුරට එල්ල කරමින් සිටි අතර එක්වරම දැකගන්නට ලැබුනේ කිසිදා නොදුටු ආකාරයේ බුල්ඩෝසර‍යකි. එම බුල්ඩෝසරය යුද්ද ටැංකියක් මෙන් නවීකරණය කර තිබූ අතර එහි මුදුනේ මැශින් තුවක්කුවකින්ද සන්නද්ධකර තිබූ අතර එය වෙඩි සදහා ප්‍රතිරෝධී ලෙස ඝනකම් ලෝහතහඩු වලින්ද ආවරණය කර තිබුනි. දකුණු පස ප්‍රවේශය වෙත‍ මෙම වාහනය ගමන් කරමින් තිබූ අවස්ථාවේ, මෙය දුටු ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්නට යම් හෙයකින් මෙය කඳවුර තුලට කඩා වැදුනොත් තවදුරටත් තමන් ඇතුළු සහෝදර ‍සොල්දාදුවන් පිරිසට කඳවුර රැක ගැනීමට නොහැකි වන බවත් එයින් සිදුවන ව්‍යවසනය ඉතා බියකරුබවත් ක්‍ෂනයකින් වටහා ගත්තේය.

මේ ආකාරයෙන් මෙම සන්නද්ධ කරන ලද බුලඩෝසරය කඳවුර වෙත ඇදෙමින් තිබූ අවස්ථාවේ නොනවත්වා මෝටාර් අවි ප්‍රහාරයක්ද එල්ල කරන්නට වූ අතර දසත ඇසෙන්නට හා දැකගන්නට වූයේ තුවාල ලැබූ සොල්දාදුවන්ගේ ‍වේදනාභරිත ‍කෑගැසීම් හා මියයමින් හා මියගිය සොල්දාදුවන් පිරිසයි. කෙසේවෙතත් ජීවත්ව සිටින්නන්ගේ සම්පූර්ණ අවධානය යොමුව තිබුනේ මෙම සිදුවීමට වඩා තමන්ගේ කඳවුර දෙසට එමින් සිටින අද්භූත බුල්ඩෝසර් රථය පිළිබදවයි.

සියළු දෙනා තුෂ්නිම්භූතව මෙම ‍රථය වෙත කරකියා ගත නොහැකිව අවධානය යොමුකරගෙන සිටි අවස්ථාවේ, මෙය නතර නොකලහොත් සිදුවන විනාශය පිළිබදව තම පූර්ණ ශක්තිය නොපමාව යෙදීමට සිතූ ලාන්ස් කෝප්‍රල් ගාමිණී ග්‍රෙනෙඩ් බෝම්බ දෙකක් දෑතට ගෙන තමන් දෙසට එන බුල්ඩෝසරයේ ඉදිරියට ගොස් එහි ඉහලට නැගීමට තිබූ ඉනිමඟ ඔස්සේ නැඟ තමන් රැගෙන ආ ග්‍රෙනෙඩ් දෙක එය තුලට දමා ගැසුවේය. 

රුදුරු ත්‍රස්ථවාදීන්ද නොනවත්වා ලාන්ස් කෝප්‍රල් ගාමිණී වෙත වෙඩි ප්‍රහාර එල්ල කරන්නට වූ අතර ඒ අතරවාරයේ ගාමිණී විසින් දමා ගැසූ බෝම්බ දෙක විශාල ශබ්දයක්ද සමගින් බුල්ඩෝසරය තුල පුපුරා ගිය අතර ගාමීණී කුලරත්න නම් විරුවාද නිසලව බිම ඇද වැටුනේ තව වසර නවයක් යන තුරාවටම ත්‍රස්ථයන්ට අලිමංකඩ නම් අතිශයින්ම වැදගත් කඳවුර අත්පත් කරගැනීමට නොදීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය තම සහෝදර සෙබල මුලටද ලබාදෙමිනි.

මේ සිදුවීමත් සමඟ ‍නොපසුබට වීර්යයකින් ඉදිරියට ඇදෙමින් සිටි ත්‍රස්ථයන්ගේ ධෛර්යය ක්‍රමයෙන් සිදී යන්නට පටන් ගත් අතර මෙයින් සවිබල ගැන්වුන ශ්‍රී ලංකා යුද හමුදාවේ ශක්තිය හමුවේ ත්‍රස්ථයන්ට තවත් දින කිහිපයක්ම සටන් කිරීමෙන් අනතුරුව පසුබැසීමට සිදුවිය. මෙවන් ජීවිත පරිත්‍යාගයෙන් අලිමංකඩ කඳවුර ලාන්ස් කොප්‍රල් ගාමිණී කුලරත්න විරුවා විසින් රැක නොගත්තා නම් ඉන් පසුව සෙබළුන්ගේ මානසිකව බිදවැටෙන තත්ත්වයක් උඩ නිරායාසයෙන්ම ත්‍රස්ථයන්නට එකින්පසු සෙසු කඳවුරුද එකින්එක අත්පත් කරගනිමින් ලංකාවේ භෞමික අකණ්ඩතාවය හා සෛරීත්වය බිදදැමීමට එතරම් වෙහෙසක් ඇති නොවනු ඇත. 

මේ වීරෝදාර ක්‍රියාව පිළිබදව රටේ අස්සක් මුල්ලක් නෑර පතල වීමට ගතවූයේ දිනයක් හෝ දෙකක් පමණි. ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න වීරයකු ලෙස ලක්වැසි සියළු දෙනා "හසලක වීරයා" ලෙස සලකන්නට වූ අතර ඔහුව නිලයෙන්ද උසස් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව වහා පියවර ගත්තේය. ඒ අනුව ඔහුව කෝප්‍රල් නිලයට උසස් කලහ. එපමණක් නොව එම වසරේ එනම් 1991 ඔක්තෝබර් 10 වනදා එතෙක් ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට වීරත්වය වෙනුවෙන් පිදෙන ඉහලම සම්මානය වන “පරම වීර විභූෂන” සම්මානයෙන්ද හසලක වීරයාව පුදනු ලැබූ අතර එය හිමිකරගත් පළමු වැන්නාද කෝප්‍රල් ගාමිණී කුලරත්නමවේ‍.

ඔහුගේ මරණින් පසුව ඔහු අගයා බොහෝ තැන්වල බොහෝ දේ සිදුවිය. ගාමිණී රණවිරුවා රට වෙනුවෙන් දිවි කැපකොට වසර 10 ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ රුව සහිත මුද්දරයක් ද නිකුත් වුයේ හසලක ගාමිණී රටදැය වෙනුවෙන් කැපවුණු වීරයකු බව කියා පෑමටය. එසේ ම ඔහු උපන් ගමේ ඔහුගේ පිළිරුවක්ද ඉදිවූයේ ඔහුගේ ඒ උතුම් කි‍්‍රයාව අගයනු සඳහාම ය.

මෙසේ තම තරුණ දිවිය රට වෙනුවෙන් පුදකල අසහාය විරුවාගේ තතු පිළිබදවද විමසා බැලිය යුතුය. ඔහු උපන්නේ කොළඹින් සැතපුම් 150 කටත් වඩා දුරින් පිහිටි කෘෂිකර්මාන්තය ප්‍රධානකොටගත් මහියංග‍නයේ, හසලක නම් ප්‍රදේශයේය. 1966 සැප්තැම්බර් 4 වනදා උපත ලැබූ මෙම හසලක විරුවා පිරිමි දරුවන් පස් දෙනකු හා ගැහැනු දරුවකුගෙන් යුතු පවුලේ දෙවැන්නා විය. මෙම වීරෝධාර ලංකා පුත්‍රයාගේ පියා එස්. ජී. බබානිස් වූ අතර මව එස්. ජී. ජුලියට් නම් විය. ගාමිණීට සිය පිය සෙනහස අහිමි වූයේ වයස අවුරුදු 15 දී පමණය. පියාගේ වියෝවත් සමග ගාමිණීට සිය දිවි සරිකර ගැනීමට වූයේ බොහෝ කම්කටොලු බාධා මධ්‍යයේය. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි.

පසුකලෙක ගිහි ජීවිතයේ ලෞකික සැපතට ‍ලොල්වී සංසාර ගමන දිගුකරගන්නවාට වඩා එය කෙටි කරගැනීමේ අභිප්‍රාය ඇතිව පැවිදි බිමට පිවිසිමට සිතන ගාමිණි කුලරත්න, මහියංගනයේ ධම්මජෝති යන නමින් සාමණේර නමක් බවට පත්වේ. මෙසේ පැවිදි බව ලබා ධර්ම ගවේශනයේ යෙදෙන, ගිහි ජීවිතයේ ගාමිණි කුලරත්න ලෙස හැදින්වූ මහියංගනයේ ධම්මජෝති හිමිට ලක් ඉතිහාසයේ දුක්බර දිනයක් ලෙස සටහන් වූ දිනයක් වන 1987 ජූනි 2 වනදා තම දිවියේදි තීරණාත්මක දිනයක් බවට පත්වේ. ධම්මජෝති හිමි සහ තවත් භික්‍ෂූන්වහන්සේලා තිස්නමක් සහ ගිහි පින්වතුන් කිහිපදෙනෙකු සමග කැලණි රජමහා විහාරයට, අම්පාරේ විද්‍යානන්ද පිරිවෙනේ සිට වැඩමකරමින් සිටි අතර එහි ප්‍රධානත්වය දැරුවේ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ය. 

එහෙත් උන්වහන්සේලාට තම ගමණාන්තය කරා නිරුපද්‍රිතව යා නොහැකි විය. ඒ මන්දයත් භික්‍ෂූන්වහන්සේලා ඇතුළු කණ්ඩායම රැගත් බස්රථය නුවරතැන්න ප්‍රදේශයේදී සැඟව සිටි 20 ක් පමණ වූ ගිනි අවි හා කඩු රැගත් ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් විසින් නවත්වනු ලැබූ අතර ඔවුන්ගේ අනින් යාබදව තිබූ අරන්තලාව නම් කැලෑබද ප්‍රදේශයට රැගෙන යන ලදි. ඉන්පසු සිදුවූයේ වචනයෙන් විස්තරකල නොහැකි ආකාරයේ කුරිරු බිහිසුනු සිදුවීමකි. පළමුව මුදල් කොල්ල කා ගත් ත්‍රස්තවාදීන් භික්ෂූන්ට වෙඩි තබා ආයුධවලින් කපා කොටා ඝාතනය කළහ. “මා මරා දමපල්ලා, මේ පොඩි දරුවන් මරන්න එපා” යනුවෙන් හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඉල්ලා සිටියත් කිසිදු සිත්පිත් නැති ත්‍රස්තවාදීන් ඒ හඩට සවන් යොමු කළේ නැත.

මෙම බිහිසුණු ඉරණමට හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු පිරිස ලක්වෙද්දී මෙයින් තුවාල ලබා කෙසේ හෝ පැනගැනීමට භික්‍ෂූන් වහන්සේලා තුන්නමක් සමත්වූහ. එයින් එක් හිමිනමක් වූයේ මහියංගනයේ ධම්මජෝති හිමි හෙවත් පසුව හසලක වීරයා බවට පත්වූ ගාමිණී කුලරත්නය.

ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ මෙම තිරස්චීන ක්‍රියාවෙන් කම්පාවට පත්වූ ධම්මජෝති හිමි මෙම සිදුවීමෙන් තුවාල ලබා සුවවීමෙන් පසු තව නායක හිමියන්ගෙන් ඉල්ලා සිටියේ රටට පිළිලයක්ව ඇති මෙම ත්‍රස්ථවාදීන් මුලිනුපුටා දැමීමේ යුද්දයට සම්බන්ධවීම සදහා තමන්ටද අවසර දෙන ලෙසයි. ධම්මජෝති හිමි‍ගේ ඉල්ලීම ඉවත දැමීමේ හැකියාවක් උන්වහන්සේගේ නායක හිමියන්ට නොතිබුනි. ඒ අනුව නැවත ගිහියකුවීමේ අවස්ථාව ලැබූ ධම්ම‍ජෝති හිමියේ, ගාමිණී කුලරත්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට 1987 අගෝස්තු 27 වන දින එක්වූ අතර අම්පාර හමුදා සටන් ක‍්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු සිංහ රේජි‍මේන්තුවේ හයවන බල සේනාවට අනුයුක්තව අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මේ සෑම කඳවුරකදීම තමන්ට පැවරූ අකුරටම ඉටුකල ලාන්ස් කෝප්‍රල් ගාමිණී අවසාන‍යේදී තම රට රැකගැනීමේ සත් කාර්යය වෙනුවෙන්ද තම ජීවිතය පූජා කිරීමටද මැලිනොවීය. මේ උතුම් කැපවීම නිසාම විනාශකාරී බෙදුම්වාදී යුද්දය අවසන්වුවද එය පිළිබදව සිහිකරන සෑම මොහොතකම ගාමිණී කුලරත්න විරුවාගේ නාමයද සදාකාලිකව කෘතවේදීත්වයෙන් යුතුව ශ්‍රී ලාංකිකයන්ගේ සිත්තුල තැන්පත්ව පවතී.

උපුටා ගැනීම - ලක්පීඩියා

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...