Blogger Widgets

Friday, July 12, 2013

මාධ්‍යවල වගකීම නිසි පරිදි ඉටු උනාද?

අප රටේ මාධ්‍යද ක්‍රමයෙන් පිරිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. මීට කලකට පෙර ගුවන් විදුලියේ හා රුපවාහිනියේ විකාශය වූ වැඩසටහන් වල ගුණාත්මක බාවය අද වන විට පිරිහී ගොස් ඇත. කොටින්ම කියතොත් බලන්නට දෙයක් නැති තරම්ය. මුදලට වහ වැටී ඕනෑම කුණු ගොඩක් විකාශය කිරීමට තරම් වර්තමානයේ බොහෝ මාධ්‍ය පෙළබි සිටිති. බොහොමයක් වැඩසටහන් මිනිසුන්ගේ කාමාශාවන් අවුස්සන වැඩසටහන් වීමද මුළු මහත් සමාජයේම අභාග්‍යයකි. මීට කලකට ඉහත උදැසන විකාශය වුයේ දේශානුරාගී ගීතය. පාසල් යාමට සුදානම් වන දුවාදරුවන්ගේ කණ වැකුණේ තම මවු බිම පිළිබද හැගීමක් ඇති කරවන ගීතය. අද එම ගීත අසන්නට ලැබේද? ඒ වෙනුවට හිස් ගීත ගොන්නක් විකාශය වේ. අද දරුවන්ට තමන්ගේ රට පිලිබදව තමන්ගේ ජාතිය පිලිබදව හැඟීමක් නැත. එවන් පරපුරකින් මේ රටට ඇති සෙත කුමක්ද? මෙසේ ගිය හොත් අනාගතයේ මේ රටේ ඉතිහාසය ඔවුන් අතින් අතු ගෑවී යනු නොඅනුමානය. රටට ආදරය කරන දුවා දරුවන් පිරිසක් බිහි කිරීමට කයිවාරු ගසන සමහර දේශපාලකයින්ද මේ ගැන සිතා බැලිය යුතුය.

සුපිරි තරු බිහිකරන මාධ්‍යද අද දක්නට ඇත. ඔවුන් හුදෙක්ම මේවා සිදු කරන්නේ මුදලට හා ප්‍රසිද්ධියට ඇති ගිජු බව නිසාය. රට වෙනුවෙන් තරු බිහි කරනවානම් මේ සදහා කුඩා දරුවන් යොදා ගන්නේ නැත. කුඩා දරුවන් ලවා වැඩිහිටියන්ගේ ගීත ගයවා ඔවුන්ගේ හිරි ඔතප් බිඳ දමා අඩ නිරුවත් නර්තන ප්‍රසංග පවත්වමින් මෙම මාධ්‍ය රටේ අනාගත පරපුරම අගාධයකට තල්ලු කර දමයි. පසුව ස්ත්‍රී දුෂණ ළමා අපචාර වලට වග කිව යුත්තේ කවුදැයි මෙම මාධ්‍යම ප්‍රශ්න කරයි. මෙම අපචාර වලට ඔවුන්ගේ හරයක් නැති මාධ්‍ය ද සෘජුවම වග කිව යුතු බව ඔවුන් නොදන්නේද?

රජයේ මාධ්‍ය වලට මීට වඩා කාර්ය භාර්ය පැවරී ඇත. එනම් කඩේ යෑමය. එය එසේ මෙසේ කඩේ යෑමක් නොව බඩ ගා ගෙන කඩේ යෑමකි. සත්‍ය වසන් කොට අසත්‍ය වපුරන මෙවැනි මාධ්‍ය සැබවින්ම රටට කොඩිවිනයකි. ඔවුනට අනුව මෙය සිංගප්පුරුවකි. නැති දියුණුවක් නැති ආශ්චර්යයක් මවා පෙන්වා ජනතාව මුලා කරන්නේ කුමන අරමුණකින්ද? දේශපාලකයින්ගේ වැරදි දැක දැක ඒවා වසා සුදු හුණු ගාන රජයේ මාධ්‍ය රටේ බහුතරයක් බුද්ධිමත් ජනතාවගේ හාස්‍යට පාත්‍ර වී තිබීම පුදුම විය යුතු කරුණක් නොවේ.

අපක්ෂපාති ගුණාත්මක බවෙන් යුතු වැඩසටහන් විකාශය වන මාධ්‍ය වල අවශ්‍යතාවය අප රටට තදින්ම දැනේ. සදාචාරය පිරිහී ගිය දුරාචාරය රජයන සමාජයකට හරි වැරැද්ද නිවැරදිව පෙන්වා දෙන දෑ හිතකාමී මාධ්‍ය අත්‍යවශ්‍යය.

අඬහැරය - 2013/07/12

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...