Blogger Widgets

Wednesday, May 8, 2013

බුදු සසුනට ප්‍රමුඛස්ථානය

සියළු ආගම්වලට සමානව සැළකීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට මෑතක දී අගමැතිතුමා ප්‍රකාශ කළේය.  එම ප්‍රකාශය ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දැඩිව විවේචනය කරන ලදී.  උන්වහන්සේගේ විවේචනය විවේචන කිරීමට දැන් සමහරු පෙළැඹී ඇත.  ඔවුන් පවසන්නේ හෙළ උරුමය ආගම් භේදයක් අවුස්සා නැති ප්‍රශ්නයක් ඇති කිරීමට වෙර දරණා බවයි.  දිගු කාලීන යුද්ධයකින් බැට කා සාමයේ සුව විඳින ජාතියකට ගැටුම් තිත්ත වී ඇති බව සැබෑවකි.  නමුත් ගැටුම් ඇති කිරීමට වෙර දරන්නේ හෙළ උරුමයවත් ආගමික නායකයින්වත් නොවේ. අගමැතිතුමන්ය. 

ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජාත්‍යන්තර ප්‍රමිතින්ගෙන් සාධාරණීකරණය වුණු කරුණක් අගමැතිතුමන් අභියෝගයට ලක්කර ඇත.  කිසිම සුළු ආගමික කණ්ඩායමක් බුදු සසුනට පිරිනමා ඇති ප්‍රමුඛස්ථානය ඉවත් කරන මෙන් එතුමන්ගෙන් ඉල්ලූ බවට වාර්තා වී නැත.  එබැවින් දුර දිග නොබලා සිතට නැගෙන සිතුවිලි වදන් බවට පෙරැලීමෙන් ආගමික ගැටුමක් නිර්මාණය කර ඇත්තේ අගමැතිතුමන්ය.  එතුමන්ගේ එම ප්‍රකාශය වැරදි වන්නේ ඇයිදැයි අපි දැන් විමසමු.



එතුමා අගමැති ධූරයේ රාජකාරි ඇරඹුවේ සිය උපරිම ශක්තියෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවට ප්‍රතිඥාවක් ලබා‍ දීමේ නීතිමය අවශ්‍යතාව ඉටු කරමිනි.  එකී ව්‍යවස්ථාවේ දෙවන ‍පරිච්ඡේදය සුවිශේෂීය.  එක වගන්තියකින් පමණක් සමන්විත එකම පරිච්ඡේදය දෙවන පරිච්ඡේදයයි.  එකී එකම වගන්තිය වෙන් වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය සහ බුද්ධ ශාසනය අතර සම්බන්ධය නීතිගත කර ප්‍රකාශ කිරීමටයි.  එකී වගන්තියේ “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.  එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 වන ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියළුම ආගම්වලට පිරිනැමෙන  අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය” යනුවෙන් සඳහන් වේ.  එබැවින් සියළුම ආගම්වලට සමානව සැළකීමෙන් ඉහත වගන්තියේ සඳහන් ප්‍රමුඛස්ථානය පිරිනැමීම උල්ලංඝණය වන අතර එකී ප්‍රකාශය කරන්නේ ආණ්ඩුවේ දෙවැනියා මෙන්ම එකී වගන්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම භාරගත් බුද්ධ ශාසන අමාත්‍යවරයා වීමෙන් තත්වය වඩාත් බරපතල වේ.  එබැවින් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට අමතරව සිය අමාත්‍යාංශයේ කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනාවට ද අගමැති වැරදිකරු වේ.

මෙකී වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැමිණීයේ ඕපපාතිකව නොවේ.  බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම මුලින්ම ව්‍යවස්ථාවට එකතු වන්නේ 1972 දී සම්මත කළ පළමු ජනරජ ව්‍යවස්ථාවෙනි.  මෙම වගන්තිය ව්‍යවස්ථාවට එක් කිරීමට මුල් වූයේ එවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඇමති ළෙස කටයුතු කළ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මැතිතුමන්ය.  සමානාත්මතා මූලධර්මය පදනම් කරගත් සමාජවාදී ව්‍යපාරයේ දැවැන්ත නායකයෙකු වන එතුමන් එක් ආගමකට ප්‍රමුඛස්ථානය ලබාදීමට පෙළැඹුණු හේතු ජනරජ ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ දී මැනවින් පැහැදිලි කර ඇත.  එතුමාගේ ඉදිරිපත් කළ කරුණු මේ අවස්ථාවේ මා සතුව නැතත් එය සාධාරණීකරණය කළ හැකි කරුණු දෙස අපි අවධානය යොමු කරමු.

මිහිඳු හිමියන්ගේ ලංකාගමනයෙන් පසු බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වුණු අතර ඉතිහාසය පුරා ලංකාව නව වතාවක් රජවරුන් විසින් බුදු සසුනට පූජා කර ඇත.  ලංකාව සහ බුදු සසුන අතර ඇති සුවිශේෂී සම්බන්ධය 1815 දී ඉංග්‍රීසින් මෙරට භාරගත් අවස්ථාවේ අත්සන් තැබූ උඩරට ගිවිසුමේ පස්වන වගන්තියෙන් පිලිගත් අතර ඉන්පසු 1818 දී ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත්වීමේ රාජාඥාවෙන් ද තහවුරු කරන ලදී.  ඒ අනුව බුදු දහම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එතෙක් රජවරු දැරූ වගකීම ඉංග්‍රිසි ආණ්ඩුව තමන්ට පවරා ගන්නා ලදී.   එය ප්‍රායෝගිකව ඉටු නොකළ නමුත් ලිඛිතව පිළිගැනීමට ඔවුන් පෙළැඹී ඇති බව පෙනේ.  එවැනි සුවිශේෂී ස්ථානයක් බුදු දහමට ලබා දීමට බලපෑ සුවිශේෂීත්වය කුමක්ද?

මිහිඳු හිමියන් බුදු දහම මෙරටට ගෙන ආ දින පටන් මේ ලියන මොහොත දක්වාම මෙරට බහුතර ජනතාවගේ ආගම බුදු දහමයි.  ඒ අනුව අපි වසර 2,300ක් අඛණ්ඩව බහුතරයගේ ආගම ළෙස බුදු දහම පවත්වාගෙන ඇත.  ආගමක් සම්බන්ධයෙන් එවැනි සුවිශේෂී වාර්තාවකට උරුම පෑමට වෙනත් කිසිම ජාතියක් සමත් වී නැත.   ලෝකයේ පැරණිම ශිෂ්ටාචාර වන චීනය, ඉන්දියාව, ඊජිප්තුව, ඉරානය, ග්‍රීසිය සහ ඉතාලිය වැනි රටවල වරින් වර බහුතර ජනතාවගේ ආගම වෙනස් වී ඇත.  නිදසුනක් මීට වසර 2,300කට පෙර ඉන්දියාවේ බහුතරයගේ ආගම බුදු දහමයි.  ඉන්පසු ජෛන ආගම බහුතරයේ ආගම වුණත් දැන් එය හින්දු ආගම වී ඇත.

ලොව බහුතරයක් රටවල බහුතර ජනතාව අදහන්නේ ක්‍රිස්තියානි හෝ ඉස්ලාම් දහම්ය.  මේ කිසිම ආගමක් වසර දෙදහසකට වඩා පැරණි නැත.  එබැවින් වසර 2,300ක් අඛණ්ඩව එකම ආගම බහුතරයගේ ආගම ළෙස පවත්වාගෙන ආ ලොව එකම රට ලංකාවයි.  එබැවින් වෙනත් කිසිම රටකට ආගමක් සමග පවතින සම්බන්ධයට වඩා සුවිශේෂී සම්බන්ධයක් ලංකාවට බුදු දහම සම්බන්ධයෙන් ඇත.  එබැවින් ආගමක් රාජ්‍ය ආගම ළෙස නම් කිරීමට වෙනත් ඕනෑම රටකට වඩා අයිතිය ඇත්තේ ලංකාවටයි.

ලංකාව සහ බුදු දහම අතර පවතින ඓතිහාසික සම්බන්ධය තරමට සම්බන්ධයක් නැතත් ලොව රටවල් විශාල ගණනක් රාජ්‍ය ආගම් නම් කර තිබේ.  ඉතාලිය කතෝලික ද බ්‍රිතාන්‍යය ඇංග්ලිකානු ක්‍රිස්තියානිය ද නෝර්වේ රෙපරමාදු ක්‍රිස්තියානිය ද නේපාලය හින්දු ද තායිලන්තය බුද්ධාගම ද සෞදි අරාබිය, පකිස්තානය ඇතුළු ඉස්ලාම් බහුතරයක් සිටින රටවල් විශාල ගණනක් ඉස්ලාම් ද රාජ්‍ය ආගම ළෙස නම් කර තිබේ.  ඒ අනුව ශ්‍රී ලංකාවේ බුදු දහමට ලැබිය යුතු ස්ථානය රාජ්‍ය ආගම ද ඉක්මවා යයි.  මන්ද ශ්‍රී ලංකාව බෞද්ධයින්ගේ වතිකානුවයි.  නමුත් අවාසනාවකට ලංකාව බුදු දහම රාජ්‍ය ආගම ළෙසවත් පිළිගෙන නැත.  එයට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානය පමණි.

නෝර්වේ රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයින් සිය දරුවන් එකී ආගමානුකූලව හදාගත යුතු බවට ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් තිබේ.  බ්‍රිතාන්‍යයේ දී ආගමට අපහාස කිරීම තහනම් වන්නේ ඇන්ග්ලිකානු ක්‍රිස්තියානි සම්බන්ධයෙන් පමණි.  සල්මන් රුෂ්ඩි විසින් “සැටනික් වර්සස්” නමින් ලියූ පොතින් ඉස්ලාම් දහමට අපහාස වී ඇති බවට එකී භක්තිකයින් පැවරූ නඩුවේ දී ප්‍රකාශනයේ නිදහස භාවිතා කර අපහාස කළ නොහැක්කේ ඇන්ග්ලිකානු ක්‍රිස්තියානියට පමණක් බව තීන්දු විය.  එමෙන්ම බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායකයා ඇංග්ලිකානුවෙකු විය යුතු අතර එය නෝර්වේ දී රෙපරමාදුවෙකු විය යුතුය.  ලංකාවේ රාජ්‍ය නායකයා බෞද්ධයෙකු විය යුතුයැයි ප්‍රතිපාදන නැතුවා මෙන්ම එසේ කළ යුතු යැයි බෞද්ධයින්ගෙන් ඉල්ලීමක් වත් නැත.

බෞද්ධයින්ගේ නොනිල නායකයා ළෙස සම්මානයට පත් අපවත් වුණු පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය හුදෙක් අරුත් සුන් වගන්තියක් බවත් එයට අර්ථ කථනයක් අවශ්‍ය බවටත් ප්‍රකාශ කිරීමට යෙදුනේ මේ පසුබිමෙනි.  මෙකී වගන්තියෙන් කර ඇත්තේ බුදු දහම සහ ලංකාවේ රාජ්‍යය අතර පවතින සු‍විශේෂී සම්බන්ධය ව්‍යවස්ථාවෙන් පිළිගැනීම පමණි.

අගමැතිතුමන් අභියෝගයට ලක් කරන්නේ බුදු දහමේ මෙරටට ඇති සුවිශේෂත්වයි.  එතුමන් විනාශ කිරීමට වෙර දරන්නේ සමස්ත ලෝකයෙන්ම ආගමක් සම්බන්ධයෙන් ලංකාව හිමිකර ගෙන ඇති අද්වීතිය ස්ථානයයි.  මෙරට ආණ්ඩුව බුදු දහමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම ප්‍රතික්ෂේප කිරීම සම කළ හැක්කේ පාප්තුමා විසින් කතෝලික ආගමට වතිකානුවේ හිමි වී ඇති සුවිශේෂත්වයට පමණි.  එබැවින් ලංකාවේ බුදු දහමට හිමි ඓතිහාසික ස්ථානයත් ලංකාව තරම් ආගමකට බැඳුනු ඉතිහාසායක් නැති ලෝකයේ අන් රටවල් සිය ඓතිහාසික ආගමට ලබා දී ඇති සුවිශේෂී ස්ථානයත් පිළිබඳ අධ්‍යනය කර අගමැතිතුමන් සිය ප්‍රකාශය නිවැරදි කරනු ඇතැයි බෞද්ධයෝ ඉවසීමෙන් බලා සිටිති.

උපුටා ගැනීම - උදය ගම්මන්පිල නිල වෙබ් අඩවිය
http://udayagammanpila.com/

1 comment:

  1. මහා යුග පුරුෂයෙකි,, මේ කාලයට අවශ්‍යම වන මෙවන් උතුමන් තව තවත් මේ පින් බිමේ බිහිවේවා!!! ජය වේවා සිරිලක් මෑණියන්ට, ශක්තියම ලැබේවා මෙවන් උතුමන් බිහිකරන්නට, මැතිදුනි ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා!!! ..............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...