Blogger Widgets

Tuesday, May 7, 2013

පාසල් පෙළ පොතට ආගම් තහංචිය

පාසල් පෙළ පොත්වල සඳහන් ඇතැම් කරුණුවලින් තම ආගමට හානියක්‌ සිදුවන බවට කතෝලික පූජකවරුන් අධ්‍යාපන උපදේශක සභාවට දැනුම් දුන් බවත්, එවැනි කරුණු ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වූ බවත් පුවත්පත්වල පළ විය. පාසල් පොත්වල පමණක්‌ නොව කුමන අන්දමේ ප්‍රකාශනයක වුව ද, කිසියම් ආගමකට හානියක්‌ වන කරුණු තිබේ නම්, ඒවා ඉවත් කරවීමේ අයිතිය එම ආගම පිළිපදින පිරිසට තිබේ. ඒ අතර එක්‌ ආගමක ඉගැන්වෙන මූලධර්ම හා මතවාද වෙනත් ආගමක සඳහන් ඉගැන්වීම්වලට පටහැනිවීම හෝ විවේචන වීම බොහෝ විට දක්‌නට ඇත. විශේෂයෙන් නිර්මාණවාදය, ආත්මවාදය වැනි සංකල්ප බුදු දහම මගින් ප්‍රතික්‌ෂේප කර තිබීම බොහෝ ආගම්වලට තද පහරකි.

ලෝකයේ පවත්නා පිළිගත් ආගම් අතරින් බුදුදහම සුවිශේෂ අනන්‍යතාවයක්‌ ගොඩනඟාගෙන තිබෙන්නේ එවැනි සිද්ධාන්ත පදනම් කරගනිමිනි. ලෝකය පිළිබඳ සර්වබලධාරී බලවේගයක පැවැත්ම හා ආත්මවාදය බුදුරදුන් විසින් ප්‍රතික්‌ෂේප කරන ලද්දේ ක්‍රිස්‌තියානි හා ඉස්‌ලාම් ආගම් බිහිවෙන්නට සියවස්‌ ගණනකට පෙරාතුවය. එමගින් කිසියම් ආගමකට පහරක්‌ වදින බවට ඉස්‌මතු කෙරෙන චෝදනා පදනම් කරගෙන බෞද්ධ දරුවන්ට බුදුදහමේ හරය කියාදීමෙන් වැළකී සිටින්නට නොහැක. එසේම පානදුරාවාදය යනු අපේ රටේ ආගමික ඉතිහාසය සමඟ බැඳුන විශේෂ සිදුවීමකි. එය බුදුදහමේ සත්‍යතාව හෙළිදරව් කෙරුණ අවස්‌ථාවකි. එහිදී මතුවුණ කාරණා අතර තිබෙන්නේ බුදුදහමේ සාරයයි. එම නිසා පානදුරාවාදය ගැන ඉගැන්වීම නතර කරන්නට අයිතියක්‌ රජයට නොමැත. රජය එවැනි දෙයකට සැරසෙයි නම්. බෞද්ධයන් එයට විරුද්ධවනු ඇත. නමුත් පාසල් පොතක කතෝලික ආගමික ප්‍රජාව ජීවත්වන ප්‍රදේශ "ඌරු තීරය" යනුවෙන් නම් කිරීමෙන් ඔවුන්ට නිග්‍රහයක්‌ සිදුවන බව සත්‍යයකි. එවැනි දේවල් පාසල් පොත්වලින් ඉවත්කිරීමට බෞද්ධයන්ගේ සහයෝගය නිසැකවම ලැබෙනු ඇත.


අපේ ආගම, ඉතිහාසය හා සාහිත්‍ය පාසල් විෂය මාලාවෙන් ඉවත්කිරීමට නොයෙකුත් අවස්‌ථාවල උත්සාහ කළ අන්දම ගැන අපි දනිමු. පසුගිය සියවසේ මුල් යුගයේද පාසල්වල ඉගැන්වූයේ බ්‍රිතාන්‍ය ඉතිහාසය යි. එයට හේතුව ලංකා ඉතිහාසය ඉගැන්වීම ගැන ඇතැම් දෙමළ ජනයාගේ විරෝධය දැක්‌වීමයි. ඒ. නැකනියල් නමැති ද්‍රවිඩ ජාතිකයකු 1931 ඔක්‌තෝබර් 09 දින මෝනිං ස්‌ටාර් පුවත්පතකට ලියූ ලිපියකින් එයට හේතුව පැහැදිලි වෙයි.

"රටේ අවුරුදු දහස්‌ ගණනක අඛණ්‌ඩ ආධිපත්‍යයක්‌ පිළිබඳව තමන්ට පමණක්‌ උදම් විය හැකි සිංහලයන් හා සලකා බලන විට ලංකා ඉතිහාසය ඉගැන්වීමෙන් අප (දෙමළ ජනයා) සහ අපගේ යටගියාව හෑල්ලුවට පත්වෙයි. එය අපට අවමානයකි."

ඡේ. ආර්. ජයවර්ධන යුගයේ සාහිත්‍ය හැදෑරීම හෑල්ලු කෙරුණි. එසේම අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් යෝජනා වුණේ ආගමික ආයතන ඇසුරෙන් ලබා ගන්නා ආගමික දැනුම මත සකස්‌ කෙරෙන ව්‍යාපෘති වාර්තාවකට පාසලෙන් ලකුණු ලබාදීමට සැලසුම් කෙරුණි. ආගම පාසලෙන් දොට්‌ට දැමීමේ එම සැලසුම ක්‍රියාත්මක වුණා නම්, අපේ රටේ ප්‍රධාන ආගම පිළිපදින බෞද්ධ දරුවන්ට විශාල හානියක්‌ සිදුවන්නට ඉඩ තිබිණි.

හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේදී බුද්ධාගම හා සිංහල පෙළ පොත්වල ඇතුළත් ඇතැම් පාඩම් ඉවත් කිරීමට හා සංශෝධනය කිරීමට බලකරමින් රාජ්‍ය නොවන සංවිධානයක්‌ විසින් රජයට යෝජනාවලියක්‌ ඉදිරිපත් කරන ලදී. එහි අරමුණ ලෙස දැක්‌වුණේ ජනවාර්ගික සමගිය ඇතිකිරීමයි. බුද්ධාගම පොතේ සඳහන් බුද්ධඝෝෂ හිමිගේ නමට මුලින් දෙමළ ජාතික යනුවෙන් යොදන්නටත්. දුටුගැමුණු රජු හා අනගාරික ධර්මපාලතුමා ගැන විස්‌තර පාසල් පෙළ පොත්වලින් ඉවත්කරන්නටත් එමගින් යෝජනා කර තිබිණි. ටිබෙට්‌ මහින්ද හිමියන්ගේ හා අනගාරික ධර්මපාලතුමා ගැන තොරතුරු සහ මහගමසේකර මහතාගේ දේශාභිමානය ජනිතකරවන ගීතයක්‌ පාසල් පොත්වලින් ඉවත් කෙරුණේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. ජනතා විරෝධය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඒවා යළිත් ඇතුළත් කළේය. පසුගිය පාලන යුගවල එන්. ජී. ඕ. හා අන්‍යාගමික බලපෑම් හේතුවෙන් ජාතියෙන් ගිලිහුණු දේශාභිමානය ජනතාවගේ හදවත් තුළ යළි පුබුදුවාලන්නට වර්තමාන රජයට දැඩි පරිශ්‍රමයක්‌ දරන්නට සිදුවිය. ත්‍රස්‌තවාදීන් ජයගන්නට අපේ ජාතියට ජවය ලැබුණේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.

නවීන විද්‍යාවෙන් හෙළිදරව් කෙරෙන කරුණු ඔස්‌සේ ද ඇතැම් ආගම්වල මූලික සිද්ධාන්තයන් හා විශ්වාසයන් ප්‍රතික්‌ෂේප වෙයි. ගැලිලියෝ වැනි විද්‍යාඥයන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවුණේ ආගමට එරෙහි මතයක්‌ ඉගැන්වීම හේතුවෙනි. එවැනි සිදුවීම් රැසක්‌ ගැන ඉතිහාසයේ සඳහන් වෙයි. බයිබලයට එරෙහි මත ඉගැන්වූ විද්‍යාඥයන් මැරීමෙන් අතීතයේ සිදුකළ වරදට වතිකානුව මෑතක දී සමාව ගත්තේය. බටහිර ලෝකයේ මුලින්ම ආගමික මූලධර්මවාදය බිහිවුණේ විද්‍යාත්මක සොයා ගැනීම් මගින් ආගමික විශ්වාස ප්‍රතික්‌ෂේප වීම හේතුවෙනි. චාල්ස්‌ ඩාවින් ඉදිරිපත් කළ පරිණාමවාදයෙන් දේව නිර්මාණවාදයට මරු පහරක්‌ වැදුණි. 1658 වසරේ අයර්ලන්තයේ සිටි ඌෂර් ආච් බිෂොප්තුමා පැවැසුවේ ක්‍රිස්‌තු පූර්ව 4004 මාර්තු 23 වන දින දෙවියන් වහන්සේ විසින් ලොව මවන ලද බවයි. ශුද්ධ බයිබලයේ උත්පත්ති කථාවට අනුව මිනිසා දෙවියන් වහන්සේගේ හැඩරුව ඇත්තෙකි. චාල්ස්‌ ඩාවින්ගේ ඉගැන්වීමට අනුව උන්වහන්සේ වඳුරු හැඩයේ කෙනෙකි. ඒ අනුව ආදි මානවයා වානරයකුට සම්බන්ධ කිරීම දෙවියන් වහන්සේට සිදුකරන බරපතල අපහාසයකි. එයින් උරණ වුණ උතුරු ඇමෙරිකාවේ දැඩි මතධාරී කිතුනුවෝ පාසල්වල පරිණාමවාදය ඉගැන්වීම තහනම් කෙරෙන නීතියක්‌ සම්මත කරගත්හ. එය මුලින්ම ඇරඹුණේ ටෙනසි ප්‍රාන්තයෙනි. 1925 වසරේදී ජෝන් තෝමස්‌ නමැති ගුරුවරයෙක්‌ පරිණාමවාදය ඉගැන්වීම හේතුවෙන් අධිකරණයෙන් දඬුවම් ලැබුවේය. නමුත් ඔහු වරදකරුවකු බවට පත්කර වසර හතළිහක්‌ ගතවූ පසු එනම්1967 දී එම නීතිය ව්‍යවස්‌ථා විරෝධී යෑයි තීන්දු කළේය. නිර්මාණවාදය සහ පරිණාමවාදය ඒකාබද්ධ විෂයයක්‌ ලෙස ඉගැන්වීමට 1980 වසරේ ඇමෙරිකාවේ අර්කන්සාස්‌ හා ලුසියානා ප්‍රාන්ත නීතියක්‌ ගෙනාවේය. නමුත් 1987 වසරේ අධිකරණය තීන්දු කළෙ ජීව විද්‍යාවට සම්බන්ධ සිද්ධාන්තයක්‌ වන පරිණාමවාදයත් සමඟ ආගමික විශ්වාසයක්‌ පටලැවීම ව්‍යවස්‌ථා විරෝධී දෙයක්‌ වශයෙනි.

2009 පෙබරවාරි මස රෝමයේ ග්‍රෙගියන් සරසවියේ පැවැත්වූ සම්මන්ත්‍රණයක දී වතිකානුව නියෝජනය කළ ගියන් ප්‍රැන්කෝ රාවසි ආචි බිෂොප්තුමා ඩාවින්ගේ පරිණාමවාදය ගැන ප්‍රකාශනයක්‌ නිකුත් කළේය. අතීතයේදී පල්ලිය විසින් විරෝධය දක්‌වන ලද ඩාවින්ගේ පරිණාමවාදය උත්පත්ති කථාවේ දැක්‌වෙන මැවුම්වාදයට පටහැනි නොවන, එයට ගැලපීමට හැකි විද්‍යාත්මක සැලැස්‌මකි. වතිකානුව නවීන විද්‍යාව සමඟ අත්වැල් බැඳ ගැනීම සම්බන්ධ මෙම පුවත ලොව පුරා පැතිරුණේ වතිකානුව වඳුරු තියරිය පිළිගනියි යන සිරස්‌තලයෙනි.

මේ අතර, එංගලන්ත සභාවෙන්ද අදහස්‌ ඉදිරිපත් විය. "චාල්ස්‌ ඩාවින්,ඔභුගේ උපතින් වසර දෙසීයකට පසු ඔබගේ ඉගැන්වීම වැරදියට තේරුම් ගැනීම පිළිබඳව එංගලන්ත සභාව ඔබෙන් සමාව අයදියි. අප ඔබට දැක්‌වූ ප්‍රතිචාරය වැරැදියි. ඔබට එරෙහිව අනුන් පෙළඹවීමෙන් අප සිදුකළේ වරදකි. එය තාරකා විද්‍යාඥ ගැලිලියෝට සිදුකළ වරද නැවත සිදුකිරීමකි." යනුවෙන් එංගලන්ත සභාව වෙනුවෙන් මැල්කම් බ්‍රවුන් පියතුමා පවසා ඇත. ක්‍රිස්‌තියානි රටවල පාසල් දරුවන්ට ජීව විද්‍යා විෂය නිර්දේශය යටතේ චාල්ස්‌ ඩාවින්ගේ පරිණාමවාදය ඉගැන්වෙයි. එම නිසා, ආගමික විශ්වාසයට පටහැනි බව කියමින් ළමයකුට විද්‍යාත්මක කාරණා ඉගෙනීමට තිබෙන අවස්‌ථාව අහිමි කිරීම වරදකි. එවැනි අයිතියක්‌ කිසිම ආගමිකයකුට නොමැත.

අපේ පාසල් පෙළ පොත් හා විෂය නිර්දේශයන් ගැන කතෝලික පූජකවරුන් නිරතුරුව විමසිලිමත් වීම අගය කළ යුත්තකි. තම ආගමට හානියක්‌ වන යමක්‌ තිබේදැයි සොයා බලා ඒවා නිවැරැදි කරවා ගැනීමේ අයිතිය සෑම ආගමිකයකුට ම තිබේ. නමුත් පාසල් පෙළ පොත් හා විෂය නිර්දේශ ගැන එවැනි විමසීමක්‌ කෙරෙන්නේ බෞද්ධයන් පමණි. මේ අඩුපාඩුව ගැන සලකා පාසල්වල බුද්ධ ධර්මය විෂය නිර්දේශ හා පෙළ පොත් බෞද්ධ මණ්‌ඩලයකින් අනුමත කරවා ගතයුතු බවට යෝජනාවක්‌ 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සම්මත කර ගැනීමට යෝජිත බුද්ධ ශාසන පනතට ඇතුළත් කර තිබේ. එය ක්‍රියාත්මක වන්නේ පනත සම්මත වූවොත් පමණි.

අබෞද්ධයන් හා බෞද්ධ මුහුණුවරින් පෙනී සිටින විවිධාකාර පුද්ගලයන් බෞද්ධ සංකල්ප විකෘති කරමින් ලියන ලිපි ලේඛනවලින් ද බුදු දහමේ පැවැත්මට බරපතල තර්ජනයක්‌ එල්ලවී ඇත. බුදුදහමේ නාමයෙන් පළ කෙරුන බෞද්ධ විරෝධී පොත්පත් රාශියක්‌ද මේ වනවිට බෞද්ධ සමාජය තුළ සංසරණය වෙයි. පාසල් දරුවෝ ඒ පොත්පත් ද කියවති. බුදුදහම ලෙස මනෝමූලික ප්‍රලාපයන් ගොනුකර ලියූ ඒ පොත්වල අඩංගු කරුණු පාසලේ හා දහම් පාසලේ උගන්වන දේවලට බොහෝ වෙනස්‌ ය. එමනිසා බෞද්ධ ග්‍රන්ථයක්‌ පළකරන්නට පෙර ඒවාට අනුමැතියක්‌ ලබාගත යුතු බවට නීතිමය ප්‍රතිපාදන සැකසීමේ වැදගත්කම සමස්‌ත ලංකා ශාසනාරක්‌ෂක මණ්‌ඩලය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. එම පුවත ප්‍රචාරයට පත්වූ පසු එයට එරෙහිව ලිපි රාශියක්‌ මාධ්‍යවල පළ විය. එහෙත් මනස විකෘති වූ පුද්ගලයන් හා බෞද්ධ විරෝධීන් විසින් බුදුදහම හා ඉතිහාසය වෙනස්‌ කරමින් සිදුකරනු ලබන ශාසනික හා ජාතික ව්‍යසනය වැළැක්‌වීමට කිසිවෙකුගේ අවධානය යොමු වී නොමැත. ප්‍රශ්න නිසි ලෙස තේරුම් නොගත් බොහෝ දෙනා කථා කරන්නේ මාධ්‍ය නිදහස හා අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳවයි. හිතුමතයට ලියූ ලිපි ලේඛනවලින් බුදුදහමට සිදුවන හානිය ඔවුන් දකින්නේ නැත. මාධ්‍ය හා අදහස්‌ පළකිරීමේ නිදහස තිබිය යුතු බව අපි කවුරුත් පිළිගනිමු. නමුත් ඒ නිදහසේ රෙදි කඩ පොරවාගෙන බුදුදහමට පහර වදින ඕනෑම බහුබූතයක්‌ ලියන්නට කිසිවකුටත් ඉඩදිය නොහැක.

දැනට භාවිත අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය නිර්දේශයෙහි පුණ්‍යකාන්ති
විජේනායක ලේඛිකාවගේ (මන්කීස්‌) - වඳුරෝ නමැති කෙටිකථාව ඇතුළත් වෙයි. එය සාහිත්‍ය නිර්මාණයක්‌ වශයෙන් ඉතා උසස්‌ මට්‌ටමක පවතින කෙටිකථාවකි. මන්කීස්‌ කෙටිකථාව ගොතා ඇත්තේ වන සෙනසුනක වෙසෙන පොඩි හාමුදුරු නමන් මුල්කරගෙනය. මවගේ මරණයෙන් පසු දිළිඳු පියා විසින් සය හැවිරිදි දරුවා වන සෙනසුනට භාරදෙනු ලබයි. දරු උපතේදී මව මරණයට පත්වීම ජනයා සැලකුවේ දරුවාගේ නරක කේන්දරය නිසා සිදුවූවක්‌ වශයෙනි. ඒ නිසා දරුවා හැඳින්වූණේ මවගේ මරුවා ලෙසිනි. පැවැදි බවට පත් මේ දරුවාට සෙනසුනේ රැකවරණය ලැබුණත්, කිසිම කෙනෙකුගෙන් ආදරය ලැබුණේ නැත. පොඩි හාමුදුරුවන්ගේ ජීවිතයට ආදරය ලබාදුන්නේ සෙනසුනේ ගල්තලාව මත සිටි වඳුරු රංචුවයි. දිනපතා අලුයම අවදි වී බුදුමැදුර පිරිසිදුකොට ලොකු හාමුදුරුවන් සමඟ පිඬු සිඟා වඩින පොඩි හාමුදුරුවෝ තමන්ගේ පාත්තරය සිවුර ඇතුලේ සඟවාගෙන ගලමදුනට නැග අහර වේල රැගෙන වඳුරු රංචුවට පිරිනමති. සතුටට පත් වඳුරු පැටව් උන්වහන්සේ වටා රොක්‌ව සෙල්ලම් කරති. සිරුර මත නගිති. උන්වහන්සේ ද ආදරයෙන් ඔවුන් පිරිමදිති. ඒ පුංචි දරුවා ලබන ආදරය එය යි. පොඩි හාමදුරුවන් පසුපස එන වඳුරු රැළ සෙනසුනේ ගස්‌ වනසති. රැeහැණෙහි එල්ලී ඝණ්‌ඨාරය නාද කරති. වඳුරු කරදරයෙන් මිදෙන්නට සිතූ ලොකු හාමුදුරුවෝ සාමණේර නම හිරු රැස්‌ නොවැටෙන අඳුරු කුටියකට දමා දොරගුළු වසයි. නියම බුදු පුතකු වන්නට නම් නැවත ඉපදීම නැවැත්වීම සඳහා ක්‍රියා කළයුතු යෑයි උන්වහන්සේ පොඩි හාමුදුරුවන්ට උපදෙස්‌ දෙති. සොබා දහමට ඇදී යන පුංචි දරුවකු පිළිබඳ මේ සිදුවීම ඉතා අනුවේදනීය අයුරින් ඉදිරිපත් කිරීමට කෙටිකථා කතුවරිය සමත්වී ඇත. එය කුඩා දරුවකුගේ මනස පිළිබඳ විග්‍රහයකි.

දිවයින පුරා පාසල්වල ඉංග්‍රීසි සාහිත්‍ය විෂය යටතේ ඉගැන්වෙන මේ කෙටිකථාව ගැන මට කරුණු පැහැදිලි කළේ සිසුන් පිරිසකි. ඔවුන් මට පැමණිලි කළේ කථාවේ සාහිත්‍යමය අගය ගැන නොව එය ඔවුන්ට උගන්වන ආකාරය පිළිබඳවයි. ඒ අනුව මම පාසල් කීපයක ම සිසුන්ගේ සටහන් පොත් කියවා බැලුවෙමි. පාසල් ගුරුවරු මෙම කෙටි කථාවේ තේමාව ප්‍රධාන කොටස්‌ තුනකට බෙදති.

1. ළමා විය
2. ළමා අපයෝජනය
3. මානසික වධය යනුවෙනි.

කෙටිකථාවේ සඳහන් වැකි නිදසුන් ලෙස ගනිමින් මෙම කරුණු තුන පාසල් දරවැන්ට තහවුරු කර පෙන්වති. භික්‌ෂුව යනු ළමයකුගෙ මානසික සංවර්ධනය ගැන කිසිදු දැනුමක්‌ නැත කෙනෙකි. දිනපතා අලුයම අවදිවීම, බුදුමැදුර පිරිසිදු කොට වන්දනා කිරීම, එක්‌ වේලක්‌ පමණක්‌ ආහාර වැළඳීම, කිසිවකුගෙන් ආදරය නොලැබීම, භාවනා කිරීම වැනි දේවල් පොඩි හාමුදුරුවන්ගේ දිනචරියාවට ඇතුළත්ය. ඒ ඔස්‌සේ මහණකම යනු දරුවකුගේ සහජ ආශාවන් බලයෙන් යටපත් කරවා, ඔහුගේ අයිතිවාසිකම් අහිමි කිරීමේ ක්‍රියාවලියක්‌ බවට දිවයින පුරා පාසල්වල දරුවන්ට එත්තු ගැන්වීම සිදුවෙයි. පන්සලක්‌ යනු කේන්දරය නරක්‌වූ දෙමව්පියන් නැති අසරණ දරුවන්ට සුදුසු ස්‌ථානයක්‌ බව ද ඉස්‌මතු කර පෙන්වයි.

කෙටිකථාවේ ප්‍රධාන චරිතය පොඩි හාමුදුරුවන්ය. නමුත් කථාවේ නමට මන්කීස්‌ .ඵදබනැහි. යනුවෙන් යොදා ඇත්තේ භික්‌ෂූන් සඳහා ඉංග්‍රීසියෙන් යෙදෙන .ඵදබනි. මන්ක්‌ස්‌ යන වචනයට සමාන කිරීමට බව ද ඇතැම් ගුරුවරු කියති. සංකේතාත්මක යෙදුම සහිතව සංවේදී ස්‌වරූපයෙන් ඉදිරිපත් කෙරෙන .ඵදබනැහි. මන්කීස්‌ කෙටිකථාව මෙලෙස විවරණය කොට කියවීමේදී පාසල් දරවැන්ගේ මනස තුළට කා වදින්නේ ශාසනය පිළිබඳ අසුබවාදී ආකල්පයකි. පැවිද්ද යනු හිංසාවෙන් , පීඩාවෙන් පිරුණු බියකරු ජීවන රටාවකි. යන හැඟීම ඔවුන් තුළ ඇතිවෙයි. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පැවිදිවීම සඳහා පාසල් දරුවන් පෙළඹවීමේ වැඩසටහනක්‌ දැනට ක්‍රියාත්මක වෙමින් පවතියි. පැවිද්ද පිළිබඳ පාසල් සිසුන්ට ඉහත කී අන්දමෙන් විස්‌තර කෙරෙද්දී ඔවුන් තුළ ඒ සඳහා උනන්දුවක්‌ ඇතිවේදැයි සැක සහිත ය. ආගමික පසුබිමක්‌ මත ගෙතු මෙවැනි කථා පාසල් පොත්වලට ඇතුළත් කරන විට එහි නිර්මාණාත්මක අගය පමණක්‌ නොව ආගමික හරය ගැන ද කල්පනා කළ යුතු වෙයි. බෞද්ධ පමණක්‌ නොව අනෙකුත් ආගම් සම්බන්ධයෙන් වුවද එය අදාළ වෙයි.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
මහනුවර අස්‌ගිරි මහා විහාරවාසී

දිවයින - 2010/08/08

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...