Blogger Widgets

Saturday, May 4, 2013

බඹ ලොව කැලඹුණු දවසක්

මහා බලවතකු වූ බක බ්‍රහ්මයාගේ දැඩි ආත්මවාදය බිඳහෙළමින් බුදු රජාණන් වහන්සේ බඹලොවදී පෑ ප්‍රාතිහාර්යය මේ ලිපියෙන් විස්තර වේ.

කසුන් ගුණරත්න

සුන්දර උක්කට්ඨා නගරයේ ‘සුභග’ නම් වූ මහා වනයක් විය. එහි සුවිසල් සල් ගසක් මුල වැඩ සිටි බුදු රජාණන් වහන්සේ, බ්‍රහ්ම ලෝක වාසී ‘බක’ බ්‍රහ්මයාට බරපතළ වැරැදි වැටහීමක් ඇති වූ බව සිය පර සිත් දන්නා නුවණින් දැනගත්හ.

වහා ම ක්‍රියාත්මක වු උන් වහන්සේ එකෙණෙහි ම මිනිස් ලොවින් අතුරුදන් ව බඹ ලොව පහළ වූ හ.

බුදු රජාණන් වහන්සේ දුටු බක බ්‍රහ්මයා උන් වහන්සේ සාදරයෙන් පිළිගත්තේ ය.

“නිදුකාණෙනි, වඩිනු මැනැවි. යහපත් ගමනක් ම වේවා! මේ බ්‍රහ්ම ආත්මය සදාකාලික යි; ස්ථිර යි; සැම දෙයින් ම සම්පූර්ණ යි; චුත නොවන, නූපදින, නොදිරන, නොමැරෙන ස්වභාවයෙන් යුක්ත යි. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකයෙන් තොර නිවනක් තවත් නැහැ. දුකින් නිදහස් වූ එක ම තැන මේ බ්‍රහ්ම ලෝකය යි.”

බක බ්‍රහ්මයා තම බ්‍රහ්ම පදවිය පිළිබඳ පුරසාරම් දෙසී ය.


“පින්වත් බ්‍රහ්මය, නිසැක ව ම ඔබ අවිද්‍යාවෙන් මුළා වී තිබෙනවා. යමක් අනිත්‍ය නම්, අස්ථිර නම්, සදාකාලික නො වේ නම්, අසම්පූර්ණ නම්, චුත වන ස්වභාවය ඇත්තේ නම්, ඔබ ඒ දේ එසේ නො වේ යැ යි පවසනවා. බ්‍රහ්මාත්මයට වඩා වෙනස් වූ නිර්වාණයක් නොමැති බව ප්‍රකාශ කරනවා. එසේ කියන ඔබ ඒකාන්ත වශයෙන් ම මුළා වෙල යි ඉන්නේ.”

මේ මොහොතේ මාරයා වහා ම එක් බ්‍රහ්මයකුට ආවේශ විය. ඒ බ්‍රහ්මයාගේ මුවින් මාරයාගේ අදහස් කියවෙන්නට විය.

“ශ්‍රමණය, මේ බ්‍රහ්ම පදවියට නින්දා කරන්ට එපා. මේ තෙමේ මහා බ්‍රහ්මයා යි; අනුන් මැඬ පවත්වන්නා යි; සියල්ල දකින්නා යි; සියල්ලන් තම වසඟයෙහි පවත්වාගන්නා යි; ලොවට අධිපතියා යි; එහි නිර්මාපකයා යි; සියල්ල මවන්නා යි; උපන්නා වූ ද උපදින්නා වු ද සියලු සත්ත්වයන්ගේ පියා යි. ඔබට පෙර ද අනිත්‍ය යි දුකයි කියමින් සතර මහා භූතයන්ට, සත්ත්වයාට දෙවියන්ට, මාරයාට, බ්‍රහ්මයාට නින්දා කළ මහණ බමුණන් සිටියා. ඔවුන් සියල්ලන් ම අපායගාමී වුණා. එසේ නොකළ මහණ බමුණන් ස්වර්ගගාමී වුණා. ඒ නිසා මේ බ්‍රහ්මයා කී යමක් ඇත් නම් එය ම ඉටු කළොත් හොඳ යි. ඔහුගේ වචනය ඉක්මවන්නට එපා. එසේ නො කරන්නේ නම් ඔබ ඔබේ ළඟට එන සිරිකත එළවාදමන අයකු වගෙ යි; අල්ලාගත යුතු, පා තැබිය යුතු තැන් තිබියදී ඒවා නො අල්වා වළක වැටෙන්නකු වගෙ යි.”

බ්‍රහ්මයාගේ ස්වරූපයෙන් ම තමා අමතන්නේ කවුරුන් දැ යි බුදුරජාණන් වහන්සේ දැනගත්හ.

“පවිටු මාරය, මා නුඹ හඳුනාගත්තා. නුඹ මේ සියලු බ්‍රහ්මයන් නුඹේ ග්‍රහණයට ගෙන ඇති බව පෙනෙනවා; නුඹේ වසඟයට ගෙන ඇති බව පෙනෙනවා. එහෙත් මා නම් නුඹට අසු වෙලා නැහැ; නුඹගේ වසඟයට පත් වෙලා නැහැ.”

බුදු රජාණන් වහන්සේ මාරයාට පිළිතුරු දුන්හ. ඉන් පසුව බක බ්‍රහ්මයා නැවත කතා කළේ ය. පෙර සේ ම පුරසාරම් දෙඩූ ඔහු මෙසේ ද කීවේය:

“ශ්‍රමණය, ඔබට පෙර ද මෙලොව නොයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් පහළ වුණා. ඔබේ මුළු ආයුෂ කාලය තරමට ඔවුන්ගෙන් සමහරු තපස් රැක සිටියා. ඔවුන් මෙතැනින් මතු තවත් නිර්වාණයක් ඇත් නම් ඒ බවත්, එවැන්නක් නැත් නම් ඒ බවත් හොඳින් දැක – දැන සිටියා. ඒ නිසා මා කියන දෙයට හොඳින් ඇහුම් කන් දෙන්න. ඔබට මේ බ්‍රහ්ම ලෝකයෙන් එහා තිබෙන තවත් නිර්වාණයක් දැකිය නොහැකි යි. ඒ ගැන සිතීම, ඒ ගැන උනන්දු වීම ඔබ වෙහෙසට පත් කරවන කාරණයක් පමණ යි.

“ඒ වගේ ම ඔබ සතර මහා භූතයන් කෙරෙහි, දෙවියන් කෙරෙහි, මාරයා කෙරෙහි, බ්‍රහ්මයා කෙරෙහි තණ්හා දැකීම් වශයෙන් ඇලී ගැලී සිටිනවා නම් ඔබ මා අනුව සිටින කෙනෙක්; මට කැමැති පරිදි හැසිරවිය හැකි අයෙක්; ඉතා පහත් කළ යුතු අයෙක්.”

බක බ්‍රහ්මයා තවත් දීර්ඝ පුරාජේරුවක් කීවේ ය. ඒ සියල්ල සාවධාන ව අසා සිටි බුදු රජාණන් වහන්සේ සන්සුන් ස්වරයෙන් මෙසේ වදාළහ:

“බ්‍රහ්මයා මා එය පිළිගන්නවා. මා, ඔබ කී කරුණුවල ඇලී ගැලී සිටින්නකු නම් ඔබ අනුව සිටින ඔබට කැමැති පරිදි හැසිරවිය හැකි, ඉතා පහත් කළ යුතු අයෙක්. එහෙත් බ්‍රහ්මය, මා එසේ නොවෙනවා පමණක් නො වේ. නුඹගේ ඍද්ධියේ, නුඹගේ ආනුභාවයේ, නුඹගේ මහේශාක්‍යභාවයේ තරම තිරම පවා නිසි ලෙස දැන ගැනීමට මට හැකි යි. ඒ නිසා මා ඔබ යටතේ සිටින අයකු නො වෙයි. ඔබට කැමැති පරිදි හැසිරවිය හැකි අයකු නො වෙයි.”

“නිදුකාණෙනි, ඔබ මාගේ තරාතිරම, මාගේ ආනුභාවය, මාගේ ස්වභාවය දන්නේ කොහොම ද?”

“බ්‍රහ්මය, නුඹගේ වසඟයෙහි ඇත්තේ මේ සඳ හිරු දෙකෙන් එළිය වන සහශ්‍රී ලෝක ධාතුව පමණ යි. නුඹට එහි උසස් පහත් සරාග විරාග, සත්ත්වයන් පිළිබඳවත්, මේ චක්‍රාවාටයෙහි හා අනෙක් නවසිය අනූනවයක් වූ චක්‍රාවාටයන්හි සත්ත්වයන්ගේ චුතිය හා ප්‍රතිසන්ධිය පිළිබඳවත් දැනගත හැකි යි. ඒ ආදි වශයෙන් මට නුඹේ ආනුභාවය, මහේශාක්‍ය භාවය හා ස්වභාවය දැනගත හැකි බව සිහි තබා ගන්න. ඒ වාගේ ම නුඹ නොදකින, නොදන්නා තවත් බ්‍රහ්ම ලෝක තුනක් ද තිබෙනවා. ඉන් පළමුවැන්න ආභස්සර බ්‍රහ්ම ලෝකය යි. නුඹත් එයින් චුත වී මෙහි පැමිණි අයෙක්. මෙහි දීර්ඝ කාලයක් වාසය කිරීම නිසා ඒ බව අමතක වී තිබෙනවා. එසේ ම සුභකිණ්ණක හා වේහල්ඵල යනුවෙන් ද තවත් බ්‍රහ්ම ලෝක දෙකක් තිබෙනවා. නුඹ ඒවා පිළිබඳ ව දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙත් මා සියල්ල දකිනවා, දන්නවා. ඒ නිසා දැකීමෙන් හා දැනීමෙන් මට නුඹට සමාන වන්නේ නැහැ. ඒ නිසා කෙසේවත් පහත් වන්නේ නැහැ. මා නුඹට වඩා ඉහළින් ඉන්නා අයෙක්.”

බක බ්‍රහ්මයාගේ කාල්පනික සිහින ලෝකය සිඳී බිඳී ගියේ ය. මෙතෙක් තමා විසින් තමා ගැන සිතා සිටි සියලු දේ ගින්නට අසු වූ ඉටි ගුළියක් සේ උණු වී යන බව ඔහුට වැටහෙන්නට විය.

“බ්‍රහ්මය, මා සතර මහා භූතයන්, සත්ත්වයන්, දෙවියන්, බ්‍රහ්මයන් ආදි සියල්ල පිළිබඳ සත්‍යය ඒ ආකාරයෙන් ම දැනගත්තා. ඒ සෑම දෙයකින් ම, සෑම ආකාරයකින් ම සකස් වන යම් තාක් තැන් තිබෙනවා නම් එය අසු නොවන උතුම් නිර්වාණයත් මා අවබෝධ කළා. ඒ නිසා ඒවා තණ්හා දැකීම් වශයෙන් සලකන්නේ නැහැ; මගේ යැ යි සලකන්නේ නැහැ. ඒ අනුව දැනීමෙන් හා අවබෝධයෙන් ද මා නුඹට සමාන වන්නේ නැහැ. පහත් වෙන්නේ කොහොම ද? ඒ නිසාත් මා නුඹට වඩා ඉහළින් ඉන්නා අයෙක්.”

“නිදුකාණෙනි, සෑම දෙයකින් ම, සෑම ආකාරයකින් ම සකස් වන යම් තාක් තැන් තිබෙනවා නම් එයට අසු නොවන නිවනක් ගැන ඔබ වහන්සේ ප්‍රකාශ කළා. ඒත් ඒ කතාව බොරුවක් නම් නො වේවා! හිස් කතාවක් නම් නො වේවා!”

සියල්ල අසා සිටි බක බ්‍රහ්මයා එසේ ප්‍රකාශ කළේ සැබෑ නිර්වාණය පිළිබඳ ඔහුගේ සැකය හා අවතක්සේරුව ද ඇතුළතින් මතු කරමිනි.

“බ්‍රහ්මය, විඤ්ඤාණය නිදසුන් රහිත යි; අන්ත රහිත යි; සෑම දෙයකට ම වඩා ප්‍රභාෂ්වර යි. එය සතර මහා භූතයන්ගෙන් හැදෙන, ඒවාට අයත් කිසි ම දෙයකට අසුවෙලා නැහැ. ඉපදුණු සත්ත්වයන්ගේ ඉපදුණු ස්වභාවයටවත්, දෙවියන්ගේ දිව්‍යමය ස්වභාවයටවත්, බ්‍රහ්මයාගේ බ්‍රහ්ම ස්වභාවයටවත්, ආභස්සර, සුභකිණ්ණ, වේහප්ඵල, අභිඟු ආදි දෙවියන්ගේ ඒ ඒ ස්වභාවයටවත් අසු වෙලා නැහැ. එය සෑම දෙයකින් ම සෑම ස්වභාවයකට ම අසුවෙලා නැහැ.”

ඊට පිළිතුරු දෙමින් බුදු රජාණන් වහන්සේ වදාළහ.

“එසේ නම් මා ඔබට නොපෙනී සිටිනවා!” බක බ්‍රහ්මයා අභියෝග ස්වරූපයෙන් පැවැසී ය.

“හොඳයි, ඔබට හැකි නම් මට නොපෙනී සිටින්න.”

නොපෙනී සිටීම සඳහා බක බ්‍රහ්මයා සියලු උත්සාහ දැරුව ද ඒ සියල්ල අසාර්ථක විය. ඔහුගේ බලපරාක්‍රමය වර්ණනා කළ බ්‍රහ්මයන්ට ද එය මහත් ප්‍රශ්නයක් විය. එහෙත් බක බ්‍රහ්මයා ඇතුළු සියලු පිරිසට නොපෙනී හඬ පමණක් ඇසෙන සේ පෙළහර පෑ බුදු රජාණන් වහන්සේ එසේ සිටිමින් ම මෙසේ වදාළහ:

සසර බිය දිටිමි මම

කාම භව ඈ භව තුන ම

විභව නම් වූ නිවන් සොයනා

පිරිස් වුව භවයෙහි සිටින

ඒ නිසා මේ සියලු භව

තණ්හා දැකුම් ලෙස නො ගත්තෙමි.

බක බ්‍රහ්මයා ප්‍රධාන සියලු බ්‍රහ්ම ලෝකවාසීහු මේ සිදුවීමෙන් මහත් සේ කැලඹුණ හ; මහත් සේ විස්මයට පත් වූ හ.

“ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මහා ඍද්ධිය, මහා ආනුභාවය විස්මයජනක යි, ආශ්චර්යජනක යි. මේ තරම් මහා ඍද්ධියක් ඇති මහා ආනුභාවයක් ඇති වෙනත් ශ්‍රමණයකු හෝ මහණ බමුණකු හෝ මෙයට පෙර අප දැක්කේ නැහැ. අඩු ම තරමින් එවැන්නකු සිටි බවක් හෝ ඇසුවේ නැහැ. මේ භවය නිසා සතුටු වන එහි ම ඇලී එයින් ප්‍රීතියට පත් වන සත්ත්වයන් අතර, භවය මුළුමනින් ම උදුරාදැමූ බව ප්‍රකාශ කළේ ගෞතමයන් වහන්සේ පමණ යි. විස්මයජනක යි, විස්මයජනක යි.”

විස්මයෙන් කැලඹුණු බ්‍රහ්මලෝකවාසී බ්‍රහ්මයෝ ප්‍රකාශ කළහ.

උපුටා ගැනීම - නමස්කාරය
http://www.namaskara.lk/?sid=article&dt=2012%2F03&id=2012%2F03%2Fnpg23_0

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...